සටහන්

Monday, April 6, 2015

හන්තානේ හඳ මරන ආදරයේ පිරිමි ඇහැ




හන්තාන.. 
හීතලයි කියලා අහලා තියන හන්තාන .. 
ලස්සනයි කියලා හිතාගෙන උන්නු හන්තාන.. 

කවදාවත්ම ඇස් දෙකට දකින්නේ නැතුව, හිත් කොනට දැනෙන්නේ නැතුව මුළු හිතින් ආදරේ කරපු මගේ හන්තාන.

ඔව් ඒ මගේ පලවෙනි ආදරේ. වෙන කාටවත් එන්න ඉඩ නොදී මගේ මුළු හිතම අයිති කරගෙන උන්නු හන්තාන... අදත් මං විඳින්නේ හිතින්.

හන්තානට පායන සඳ 
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න


කවම කවදාවත්ම දැකලා නැති හන්තානේ හඳ ගැන කියන තමන් සන්තක වුනු ආදරේ අතහරින්නට හයිය හොයන උසස් පෙළ පෙම්වතෙකුගේ වේදනාව ඇතුලේ මං දැක්කේ හන්තාන. එත් .... පව්. 

ඒ කොල්ලා ආදරේ හන්තානට නෙමෙයි කියලා මට තෙරෙද්දී මටත් හන්තාන නැති වෙලා. එක අතකින් ඒ දරුවා හරි. උන් ජිවිතේ ජිවත් වෙන්න ඕනෑ කාලේ ජිවත් වුනු මිනිස්සු. 

බඩ ගාන්න ඕන කාලේ දණ ගාලා ඇවිදගෙන යන්න ඕන කාලේ බඩ ගාද්දී ඒක හරිම විකෘතියක්.

ඒ අතින් ඒ ළමයා ප්‍රකෘතියක්. එත් ඒ ප්‍රකෘතියේ පැත්තකින් පොඩි පහේ විකෘතියක් තිබුණා නම් සමහරවිට තනියම හරි හන්තානේ හඳ බලන්න මේ කොල්ලටත් එන්න තිබුන නේද කියලත් නිකමට වගේ හිතුනා.

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න


මහා වැස්සේ කුඩ අස්සේ ආදරේ කරපු තමන්ගේ ආදරේට වෙන කුඩේකට තුරුල් වෙන්න කියන්නේ හිතකින්ද? වේදනාව ඇස් අස්සේ හංගගෙන හිනාවෙන්න කොල්ලන්ට පුළුවන්. එත් වැඩිපුරම බැඳෙන්නේ පිරිමි. ආදරේ හංගගෙන ඉන්නේ පිරිමි.

ඒ නිසයි ඔය පරණ මතකෙන් ගැලවෙන්න මේ අඩු වයස් පෙම්වතාට බැරි.

පිරිමින්ගේ ආදරේ හරි පුදුමයි. කවදාවත් ගැට ගහල ළඟ තියාගන්න මුළු හිතින් ආදරේ කරන පිරිමින්ට ඕන නැහැ. ඒත් හිත යටින් මහා ලොකු විස්වාසයක් තියනවා අත අතෑරලා කවදාවත් යන්නේ නෑ නෑ නෑමයි කියලා.

ඔය හැංගිච්ච ආදරේ තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක්ට විතරමයි ඒ ආදරේ ලස්සන කම විඳින්න පුළුවන්. එහෙම බැරි කෙල්ලන්ට තමයි හිතෙන්නේ කොල්ලෝ යකඩ කියලා. 

ආදරේ ගිනියමට දියාරු වෙන කොල්ලන්ගේ යකඩ හිත් ආදරේ මයිනහම ගාව වෙඬරු...

ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න
" හන්තානේ තුරු වදුලු අත පාලා ආදරේ දෙන්න කතා කරද්දී තමන්ගේ දුර ඈත පෙමට ගාල් වෙලා ඉන්න ගියොත් එතන අසම්මතයක් ඇති වෙයි. ඉතින් යන්න.... ආදරේ හොයා ගෙන. මගේ අත අත ඇරලා.. නුඹට එලි වුනු මග දිගේ.. හුඟක් දුර හුඟාක් දුර. 

එත් දන්නවා නේද මං ඉන්නවා මෙතන මේ විදියටම. දන්නේ නැහැ ඉතින්. මගේ අත තියේවිද දන්නේ නැහැ. තනියම. ඒ වුණත් මං යන්නේ උඹේ මතක ගුලි කරගෙන. යන තැනකට. 

එතකොට අසම්මතයක් එතන. කමක් නැහැ. උඹ සම්මත වෙයන්. මං අසම්මත වෙන්නම්. "



-පොඩී-
2015 අප්‍රේල් 7




කියවන්න...

පමාව ...



පමාව 
නුඹව මුණ ගැස්වූ 
 පමාව ...

බලා ඉන්නට
තවත් රිසි නොවූ තැන
පමා වූ සඳ

නුඹේ පිරුණු
මතක ගොන්නට
හිස් අතින්
මා ගෙනා
එකම මතකය 

පමාව...
අහේතුකව පමා විය
නුඹව හිමිවෙන්න
මට 

-පොඩී-
2015 මාර්තු 31
කියවන්න...
Designed By Blogger Themes