අතීතය... කම්මුල් රතු වෙලා කඳුළු එනකම් හිනාවෙන්න විතරක් නෙමෙයි ඇස් දෙකම ඉදිමිලා කෑ ගහලා අඬන්න වුනත් හේතුවක් වෙන්න පුළුවන් අතීතයක් ඔයාට වගේම මටත් තියනවා.
ඔන්න ඔයා හිතුවා...වැරදියි මිනිස්සු අඬන්නේ ආදරේ නිසා විතරක්ම නෙමෙයි. මිනිස්සු වේදනා විඳින්නේ ආදරෙන් විතරක්ම නෙමෙයි. දන්නවද ජිවිතේ කියන්නේ හුගක් දේවල්.
හා කියන්න බලන්න මට හුගාක් රිදෙන මාව තුවාල කරන මේ ඉදිකටුව ඔයාට ලස්සන මතකයක් නේද?
අතීතෙන් ඇහැරිලා හුගක් දෙනා අඩවපු සංධ්වනිය මට කඳුළු දුන්නේ නැහැ. විස්වාස කරනවද?
ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
මේ වාදීශ දේවමින්ද වික්‍රමනායකගේ ආදරේ. වාදීෂගේ නොවුණු එයාගේ ජිවිතේ අරක් කරගෙන තිබුණු ආදරේ. ඔව් ආදරේකට එහෙම වෙන්න පුළුවන්. වාදීෂව අමතක කරමු අපි. එයාගේ ආදරේ ගැන කතා නොකර ඉමු අපි.
මං මේ කියන්නේ ඔයාගේ ආදරේ ගැන. ඔන්න හිතනවා... වැරදියි ආයෙමත්. මං නොදන්නේ නැහැ. මං දන්නවා ඔයාගේ ඒ ආදරේ ගැන.
අර ඔයාට හරි අමුත්තක් දැනුනේ. එක ආදරේද කියලා සැක හිතුනේ. ඇස් ඇරගෙන බලන්න බය වුණු, ඕනෑකමින්ම ඇස් තද කරගෙන පියාගන්න ඔයාගේ හිත ඔයාට බල කරපු ඒ දවස් වල ඔයාගේ වටේට ඇවිද ඇවිද හිටපු අර අමුතු සුවඳ ගැන තමයි මං මේ කියන්න හැදුවේ.
දැක්කද ඔයාගේ හිත හිනාවුණා. පපුව ගැහෙනවා කියලා දැනෙන්න ගත්තා. අන්න ආදරේ.
ඔයාගේ නොවුණු ඔයාගේ ආදරේ. ඔයා හිනා වුණාට හිතින් ඉකි ගහන වෙට්ටු දාපු අතීතේ.
හීනෙන් හිනැහී තුන් යාම මා රවටා
මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
ඒක පාර්ශවික ආදරයක් කියන්නෙත් ටිකක් ලස්සන දෙයක්. ඔයාම හදාගනිපු ලෝකෙක ඔයාම රජ වෙනවා. ඔයාම යුද්ධ හදාගෙන තනියම සටන් කරනවා. හැබැයි අන්තිමේදී ඔයාම දිනනවා.
අන්න එතනදියි ඒක පාර්ශවික ආදරේ ලස්සන පෙන්නේ. ඔයා දිනුවම ඔයාට සතුටුයි. ඔයා තනියම සතුටු වෙනවා. හුගාක් හිනා වෙනවා.
හැබැයි ඇස් දෙක ඇරියම ඇස් දෙකේ හිර වෙලා තිබුණු සතුටු කඳුළු රත් වෙලා කඩන් හැලෙනවා. රතු පාට කම්මුල් වලින් ලේ ටික ඇස් වටේට ගොඩ ගැහෙනවා. ඔයා ඉකි ගහලා අඬනවා.
ඒ නිසයි කළුවරට ඔයා ආස. කළුවරේ ඔයා සතුටින්. අඳුරේ ඔයා දිනුම්. ඒ ආදරේ අඳුරේදී විතරක්ම ඔයාට අයිතියි. ඔයා ඒ අයිතියට කොයි තරම් නම් ලෝබද ?
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
ඔයාට රිදුණා නේද ඉකි ගසා අඬපු සංධ්වනිය ඔයාව තුවාල කලාට විස්වාස කරන්න සංධ්වනිය තමයි මාව සනීප කළේ.
සංධ්වනිය තමයි මට හිනාවෙන්න ඉගැන්නුවේ.
සංධ්වනිය තමයි මගේ එහෙ මෙහෙ වෙලා තිබුණු පද පේළි ටික එක්කාසු කරලා හරියටම හරියන තාලයක් හදලා දුන්නේ.
ජිවිතේ අන්න එහෙමයි. සංධ්වනිය වගේ. ඔයාටයි මටයි එකම සංධ්වනිය වස්තු බීජ දෙකක්. ඔයාටයි මටයි එකම ජිවිතේ අරමුණු දෙකක්. තේරුම් ගන්න ඒක. එතකොටයි ලස්සන වෙන්නේ හැමදේම.
නිකම් හිතන්න වාදීෂගේ ආදරේ ගැන ඔයා මොකද හිතුවේ. ඔයා හිතුවේ වාදීෂ පුන්‍යා ට ආදරේ කියලා නේද ?
ඔයා වින්දේ වාදීෂ පුන්‍යා ආදර කතාවද ? එතකොට සෞන්දර්යා.. පව් නැද්ද ?
එකකට එකක් සම්බන්ධ එකක් පස්සෙ එකක් ගමන් කරන දේකට මිනිස්සු කියන්නෙ ජීවිතය කියල...
එකකට එකක් සම්බන්ධ නැති මෙන්න මේකයි කියන්න හෙතුවක් නැති දේට මිනිස්සු කියන්නෙ ආදරය කියල...
-පොඩී-
2015 අගෝස්තු 25
No comments:
Post a Comment