සටහන්

Friday, August 28, 2015

කන් ඇරලා ඇස් වහලා අහන්න....




ඔයා දන්නේ නැහැ. ඒක අහන්න ඔයාට දැනෙන්නැහැ... ඒකයි ඔයාට ඇහෙන්නේ නැත්තේ. නැත්නම් මේ මට ඇහෙන දේ මේ මං ගාවම ඉන්න ඔයාට ඇහෙන්නේ නැතිවෙන්න බෑනේ නේද?

සමහරවිට මෙහෙම වෙන්නත් බැරි කමක් නැහැ.

ඔයාට ඇහෙනවා. ඒත් ඔයා අහන්න ආස නෑ. ඒ නිසා ඔයා ඇහෙන්නේ නෑ වාගේ ඉන්නවා. 

ඔව් ඔයා ඔයාගේ කන් වහලා. ඇස් විතරයි ඇරගෙන ඉන්නේ. ඇස් දෙකට දෙපැත්තේ කන් දෙකක් දීලා තියෙන්නේ ඇයි කියලා කවදාවත්ම ඔයාට හිතුණේ නැද්ද ?

වැඩි පරාසයක් අහන්න. හොඳට ඇහුම් කන් දෙන්න. පෙන්නේ නැති දේවලුත් අහගෙන තීරණ ගන්න හිතට ඉඩක් දෙන්න. එතකොට හිතට පුළුවන් ඇහෙන දේ ගැන දුර හිතන්න. 

එතකොට ඇස් දෙකක්ම තියෙන්නේ. ඇස් රැවටෙනවා දරුවෝ. ඇස් කියන්නේ හරි ලේසියට රැවටෙන්න පුළුවන් දේකට. හරිම පටු පරාසයක සීමා වෙලා ඉන්න දේකට. 

ඔයා ඔය ඉන්නේ ඇහැට ඉඩ දීලා. දකින දේ ඒ විදියටම අරන්. ඔයාගේ කන් වලට ඇහෙන දේවල් වර්ග දෙකයි. එකක් බාහිර සද්ද. ඒවායේ හේතු ප්‍රත්‍ය ඇස් දෙකට බලන්න පුළුවන්. අනිත් වර්ගේ නම් එහෙම බෑ. ඒ සද්ද එන්නේ ඔයාගෙම ඇතුලෙන්. ඔයාගෙම පතුලෙන්. ඒ කතා කරන්නේ ඔයාමයි. 

ඒකයි මං මේ කියන්නේ. චුට්ටක් ඇස් වහගෙන අහන්න කියලා. කළුවර මහා පුදුම දෙයක්. කළුවරට පුළුවන් ඔයාගේ ඇතුලේ ඉන්න ඇත්ත ඔයාව ඇහැරවන්න. එතකොට ඔයාට ඔයාම කියල දෙනවා ඔයා ඉන්නේ ඔයා ඉන්න ඕනෑ විදියටමද කියලා.

මේ ලෝකේ ඔයා ගැන හොඳටම දන්නේ ඔයා. වෙන කාටවත් පෙන්නේ නැති ඒ හැංගිච්ච ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි හුගක් හොඳ දේවල්. ඔයා දැනගන්න ඕන ඔයා ඉන්නේ හරි තැනද කියලා. 

ඔයා යන්නේ හරිම පාරේද කියලා. ඒකයි මං කියන්නේ. අහන්න කියලා. හොඳට අහන්න කියලා. ඔයාට ඇහුන්කම් දෙන්න කියලා.

දැන්වත් කන් ඇරලා ඇස් වහලා ඔයාව අහන්න හුරු වෙන්න. එතකොට ඔය ජිවිතේ ඔයාගෙම වේවි. ඔයා ඔයාම වේවි. සත්තයි.
-පොඩී-
2015 අගෝස්තු 29

No comments:

Post a Comment

Designed By Blogger Themes