" මගේ අනාගත බලාපොරොත්තුව ......... කෙනෙක් වීමයි "
මං හිතන්නේ මට වගේම ඔයාටත් ඔය හිස්තැන පුරවන්න දාපු වචනේ කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඇති නේද?
මුකුත් ඕන නැහැ අනිත් හැම දේම අපුරුවට ගලාගෙන එන වේගෙන් ලිව්වත් ඔය හිස්තැන පුරවන්න කලින් පුංචි කමට මහා හුගක් වෙලා කල්පනා කරපු අතීතයක් පොඩීට තියනවා.... :)
ඇත්තටම ඒ බලාපොරොත්තුව වෙනස් වෙන්නේ අපේ හිතුවිලි වල ගැඹුරත් එක්කනේ. පොඩිම දවස් වල ලෝකේ ඉන්න ලොකුම වීරයා අම්ම නැත්නම් තාත්තා. ඉතින් අපිටත් ඕනි වෙන්නේ එහෙම වෙන්න. අම්මගේ රස්සාව කරන්න. අම්ම කරන දේවල් කරන්න. තාත්ත වගේ වෙන්න....
ඉස්කෝලේ යන්න ගත්තම පොදු බලාපොරොත්තුව වෙනවා ටීචර්.. සමහරුන්ට බස් එකේ ඩ්‍රයිවර් අංකල්. කොන්දොස්තර අංකල්. බෙහෙත් ගෙන්න යන දොස්තර අංකල්. කඩේ මුදලාලි අංකල්....
අපි අපිට පේන තැන් වල, අපේ දර්ශන පරාසය ඇතුලේ අපේ හීනෙ අදිනවා. පාට කරනවා. ලොකු වෙනකම් පාටින් පාටට පාට කරනවා...
හැබැයි බොහොමයක් දෙනා අන්තිමට ජිවත් වෙන්නේ වෙනමම අලුත් හීනෙක. වැල යන අතට මැස්ස ගහගෙන ලැබෙන දේකින් ජිවිතේ ගැට ගහගන්නවා.. ඕක තමා පොදු ඇත්ත.
දවසක ඇත්ත වුනත් නැතත් පොඩි කාලේ හීන හරි වටිනවා. ඒවා මතක තියාගන්න එකත් හරි වටිනවා. ඇයි දන්නවද? රස්සාව මොකක් වුනත් ඒ කාලේ ඔය අස වෙලා තිබුණු ජිවිතේ මැරෙන්න කලින් ලාවට හරි තමන්ගේ හීනෙ ඇතුලේ පාට කරගන්න පුලුවන්නම් අපි දන්නෙම නැතුව අපි අමුතු විදියක තෘප්තියක් ලබනවා. ඒක මේ පොඩි අමතර කතාවක්...
අනිත් අතට කාලෙන් කාලෙට හීන අලුත් වෙද්දී පරණ හීන වලට පයින් ගහන්න යන්නේ නැතුව එවයින්ම අලුත් හීන උපද්දවගන්න පුලුවන්නම් ජිවිතේ ලේසියි. ඔයා ටිචර් කෙනෙක් වෙන්න ආස වුනේ උගන්නන්න නම් නිකමට වගේ පොඩි එකෙක්ට අකුරක් දෙකක් කියල දීල බලන්න කොච්චර සතුටක් දැනෙනවද කියල. ( හැබැයි ගොඩ දෙනෙක් කැමති සාරිය අදින්න නිසා ඒක ඉබේම ඇත්ත වෙනවනේ )
මට කියන්න ඕනි වුණු වැදගත්ම කාරණේ තමා ඔයා දැන් ඉන්නේ විස්ස පැනල නම් ඔයා දිහා බල පොඩි උන් ඕන තරම් හීන හදා ගනීවි. උන්ට හොද හීනයක් දෙන්න පුළුවන් තරම් වටිනා කෙනෙක් වෙන්න චුටියට සිහි තියාගන්නත් වෙයි.
පොඩී හැමදාම කියන කතාවක් තියනවා...
කෙල්ලෙක් පොඩි කාලේ ඉදන් මතක තියාගන්න ඕන දවසක එකී අම්මෙක් වෙනවා කියල. තමන්ගේ අම්මට ආඩම්බරෙන් 'අම්මේ' කියන්න පුළුවන් වෙන්න තරම් හොදට ඔයාගේ අම්ම හිටිය නම් ඔයත් දැන ගන්නෝනි ඔයාගේ ළමයින්ට ආඩම්බර වෙන්න පුළුවන් අම්මෙක් වෙන්න. කොල්ලෙක් නම් ඔයාගේ ළමයිට වීරයෙක් හීනයක් වෙන තරම් වටින තාත්තෙක් වෙන්න.
මං හිතන්නේ යන්තමට හරි අනාගතයක් ගැන හිතෙන්න ගත්තම කාගේ කාගේත් හීනෙ හැදෙන්න ඕන මේ අඩිතාලම උඩ. එහෙම උනොත් මේ ලෝකේ හරි ලස්සන වෙයි. දරුවෝ පරිස්සම් වෙයි. ජීවිත දිලිසෙයි.
දැන් බොහොම දෙනාට අමතක වෙන දේත් මේකම තමා. හැබැයි මතක තියාගන්න දවසක ඔයාගේ ලෙයින් හැදෙන දරුවෝ ඔයාට සාප කලොත් ඔයාට මැරෙන දවසක වත් සැනසීමක් නෑ.
ජීවිත විදින්න ඕන තමයි. සතුටින් ඉන්න ඕන ආතල් ගන්න ඕන කාලේ ඒවා කරන්න ඕන තමයි. එත් මේක ජීවිතේනේ. එකයිනෙ නේද ? ආය ආපහු හැරුනම දුක හිතෙන දේවල් නොකර ඕන දෙයක් කියල තමා ඔයාට මේ කියන්නේ...
එහෙනම් හීනයක් වෙන්න.. ලස්සන පාට පාට වටින හීනයක් වෙන්න..
-පොඩී-
2016 මාර්තු 18
No comments:
Post a Comment