සටහන්

Tuesday, November 24, 2015

තුං කොං රහස



පණ නැති තැන් වල
පණ තියන මතක තියල
හුස්ම ගන්න හඩ අහන්න
පපුව ගැහෙන එක නතර කරපු
ඒ මොහොතක...

නහර වල ලේ දුවන 
මතක අස්සෙන්
ඇවිදගෙන ඇවිදගෙන
ඔහේ යන එක
ඇබ්බැහියක් නම්

ඔව් මාත් ඇබ්බැහියෙක් ...!!

ගැලවෙන්න බැරි නෙමෙයි
ගැලවෙන්න ඕන නැති
මුරණ්ඩුකාර ඇබ්බැහියෙක් !

ඉතිං අහන්නකො ..
එහෙමමයි ඒ සුවද

මං ඉම්බ යන්තමට...
බය වෙන්නෙපා
හුළග වත් දන්නෙ නැහැ

එතන වැස්සට පෙගුණු 
මල් ගාල ළග බැම්ම...

හිම වාගෙ හීතලට
ගල් වෙච්ච පඩි පේළි...

හැමදාම අයිනකට
කොන් වෙච්ච් ගස් දෙබල,

( ආ .. අදයි දැනගත්තෙ 
එයා ගොලුයි
කතා කරන්නෙ අතු වලින්
නොදරුවෙක් කාලෙම
පාවිච්චි වෙලා
ඒ නිසාලු අතු බෙදුණෙ
මුල් ළගින්ම
අතු තමයි මට කිව්වෙ 
අපිට අහන්නයි තිබුණෙ 
ඒ දවස්වලම
පව් දෙබල)

ඉතිං ...

ඒව තාමත් සුවද වග
හුළග වත් දන්නෙ නැහැ
උනුයි 
මමයි 
ඔයයි
විතරක්ම දන්න
තුං කොං රහස
සුවදක මතක...


-පොඩී-
2015 නොවැම්බර් 8
කියවන්න...

මතක සෙනෙහස



මතකයක් වුණත් හුස්මක
සීරුවට දැනුණාම හිත යට
අනන්තෙට වඩා දුර යන
සෙනේ පිරෙනවා ....

ඉතිං මං ඔහේ තනියම
කෙසේ නම් කියන්නද , නුඹ
පපු තුරේ ගැහෙන වාරෙට
හිත පුරවනවා ....

-පොඩී-
2015 නොවැම්බර් 10


කියවන්න...

ඇනා මේ අහපන්



ඇනා,
මුණගැහිල පතිනිව
බලං ඉදින් 
ඒකිගෙ ඇස් අස්සෙ
ඉරි වල 
නැමෙන තැන් විතරක්....
එතකොට 
ඇරිල යයි
ඔය
අහවරක් නැති
පුහුදුන් කම්

- පෘථිවි -


-පොඩී-
2015 නොවැම්බර් 13
කියවන්න...

ගම්



ගම්....
ඇලෙනකං
හොදහැටි
ගෑවි ගෑවී
මතුපිටින්
ඇතිල්ලුණු
ඒ කොළයම....
ඇලි ඇලී
හැමතැනම 
ගැලවෙන්න 
හදද්දී
ඉඩ නොදී
පොතු පොතුම
ගලවලා දමන
ඒ කොළයේම
ගම්....

-පොඩී-
2015 නොවැම්බර් 14
කියවන්න...

ලොකුම ලොකු කණ්නාඩිය



නා කපන මහ වැස්ස අඩු වෙලා
හීනියට අව් රැල්ල එනකං
මං උන්නෙ අහසම බලං...

ගල් වෙච්ච් හීතලේ
හිරි වැටුණු කේෂ නාලිකා අස්සෙන්
උණුහුම් ලේ ගලනකම්...

තෙත පෙගිල පාට දියවුණු
මල් පෙති පාගගෙන
මඩ පිරුණු මල් පාර දිගේ
වෙනදා මෙන් නුඹ එනකම්...

ඉතිං ,
අහසට ඇරුණු ඇස් දුටුවාම අහිතෙන්
හිතුමතේ වරදා ගත්තු පාරෙන් 

නුඹ ඈත ගිය වග
නුදුටුවේ නැහැ මං

අහස ලොකුම ලොකු කණ්ණාඩියක් !!

-පොඩී-
2015 නොවැම්බර් 17
කියවන්න...

Saturday, November 14, 2015

තාත්තා



තනිය දැනුණම වයස ගෙවුණම
ජීවිතේ පාලුව දැනෙන හැටි
හැමදේම වාගේ තාත්තා
අදත් මට කියලා දුන්නු හැටි

'පුතේ උඹ වැඩ කරගන්නවද
කියාපන් ගැටලුවක් නැතිවද?'
හිත අහද්දී තාත්තා මගෙ 
මුවින් නොම විමසා උන්නු හැටි

'දරුවො කවදා එයිද' කියලා 
තාත්තා නම් අහන්නැතුවැති
'අද නැතත් හෙට ඒවි' කියලා
ගොලු වෙච්ච හිත කියනවා ඇති

හිතේ හොර හංගන්න බැරි ඇස්
අම්ම නම් කියවන්නටම ඇති
'උන්ට වැඩ ඇති එන්ට බැහැ ඇති'
නොකී දුක ඈ අස්වසන්නැති


-පොඩී-
2014 ඔක්තෝබර් 4

කියවන්න...

Saturday, October 3, 2015

උඹ රැඩිකල් ... එතකොට මම





දැන් දැන් රැඩිකල් වීම ෆැෂන් එක වී තිබේ. ස්වමතධාරි රැඩිකල් කම තුල ඔවුනොවුන්ගේ සීමා ඉතාම අසීමාන්තිකය.

ගැටලුව ඇත්තේ පුද්ගලික රැඩිකල් භාවයේ නොව. "රැඩිකල්" යන වචනයට හරි හමන් පැහැදිලි කිරීමක් නැති විමේය.

මම දන්නා තරමට මම රැඩිකල් නැත. 

ඇත්තටම රැඩිකල් වීම යනු හරියටම මොකක්ද කියා නොදැන මම රැඩිකල් වන්නට බිය වෙමි. හේතුව ටිකක් විතර අසාධාරණ වන්නටද පුළුවන. මිනිස්සු රැඩිකල් ලෙස දකින අසීමාන්තිකත්වය තුළ මා දකින්නේ ඔවුන් අන්ධ වී ඇති හැටියකි. 

මේ රැඩිකල් රැල්ලට බොහෝ සෙයින් ගසාගෙන යන්නේ තාරුණ්‍යයයි. 

අනෙක් අතට රැඩිකල් කමට දෙන අරුත් විග්‍රහය වයසට අනුව වෙනස් වේ. 

පොඩි වයසේ හා හා පුරා කියා අහන්නට ලැබෙන මේ අරුම පුදුම වචනය ගැන පොදු මානුෂික හැගීමක් වන කුතුහලය ඇවිස්සෙන අතර ඉන් පසු අරුත් නොගැලපුණු වචනයකට පැහැදිලි තේරුමක් හොයාගෙන ඇස් පියාගෙන තුමු තුමූ විසින් කපා ගත මගක් ඔස්සේ දුවන්නට පටන් ගනී. 

ගමන එකම නමකින් කියවුණත් එක එක පුද්ගලයා නතර වන අවසානය වෙනස්ය, හාත්පසින් වෙනස්ය.

' මම රැඩිකල් පොරක් ' කියාගන්නට ආසා කරන අනාථ ආත්ම කාගේ හෝ මුරණ්ඩු රැඩිකල් කම කොපි කරයි.

' දැක්කද ඌ වගේ තමයි මමත් මේකට තමයි රැඩිකල් කියන්නේ ' කියා තමා විසින්ම කියා ගනියි. ඉන් පසු මේ නිර්මිත රැඩිකල් කුලකයන් තුළ යම් යම් ප්‍රමාණ වලින් සම මත ධාරීන් එක්කාසු වෙයි.

දැන් දැන් මතුවන රැල්ලේ රැඩිකල් වීම යනු අසංස්කෘතික වීමකි. උඩුගං බලා පිහිනීමකි. එසේත් නැති නම් අසම්මතයට හූමිටි තැබීමකි. 

සංස්කෘතිය හිර වීමක් ලෙස දකිමින් රීතිගත සීමා ඉක්මවා යෑම වීරකම ලෙස දකින තරුණ පරපුරක ගමන වල් මත් වී ඇති සෙයකි. 

මෙතනය මෙතනය කියා පෙන්විය නොහැකි තරම් වැරදි පාරවල් ඔස්සේ යමින් ජිවිතය අරුත් සුන් කරගත් බහුතරයක් සමග ඇස් ඇර බලන්නට බැරිතරම් භයානක අනාගතයක් කරා ඔබද මමද විහින් අන්ධ වී ගසා ගෙන යමින් සිටිමු.

සරලව මෙසේය. ජීවිතය යනු කුමක්දැයි විමසු තැන ගොළු වන අපි ජිවත් වන්නේ කුමකටදැයි ඇසු තැන නොගැලපෙන පිළිතුරු පිටු ගණන් ලියමින් සිටිමු.

කොටින් කීවොත් සංස්කෘතියෙන් වසා ගත් විළිය එළි වූ තැන ' ආ ඌ හෙනම රැඩිකල් ' කියන්නට තරම් තරුණ මානසිකත්වය පටු වී ඇත. 

උදාහරණ නැත. රැඩිකල් කමින් හෙළුව වසාගෙන ලෝකය ගමන් කරමින් සිටින්නේ ශිෂ්ටාචාරීකරණයෙන් එපිටටයි. උඩුගං බලාය. පටන් ගනිපු තැන බලාය. උල්පත් බලාය. 

ගැටලුව නම් එහි යන විට උල්පත් හිඳී වේලි ගොස් ඇති බව අපි නොදැන සිටීමයි.

-පොඩී-
2014 ඔක්තෝබර් 4



කියවන්න...

අනුවර්තනය



බොහොම දේවල් වෙනව
මහ වැහි වහිනව
හෙන අකුණු පුපුරනව

කදු කඩන් හෝදගෙන යනකොට
පොළවට හුගක් රිදෙනව
ආයෙමත්....

බොහොම දේවල් වෙනව
ගිනි අව්ව පායනව
මුලු පොළව ඉරි තලල
පැලි වලං හුග පැලිල
කොළ පාට නැත්තටම නැති වෙනව

දවසක පොළව හුරු වෙනව
කාලෙකට හේදෙන්න
කාලෙකට වේලෙන්න 
විතරක්ම නෙමෙයි

හෙල්ලුනත් වෙව්ව්ලුවත්
ගැලවෙන්නැතුව ඉන්න

මහ පොළව හුරු වෙනව
මහ හුගක් දේවල් 
නොපෙනී ඉන්න

නොදැනී ඉන්න

හේදි හේදී 
වේලි වේලී
මහ හඩින් හිනාවෙන්න...

-පොඩී-
2015 ඔක්තෝබර් 2
කියවන්න...

Wednesday, September 30, 2015

ආදරෙයි මේ තරම්



මේ තරම් කියාලා
කියන්නට බැරි තරම්

සෙනෙහසක් හිත පුරා
උතුරන්නෙ නුඹ නමින්

දන්නවද කාරණා 
සෙනෙහසට මේ තරම්

මං මටම බැදි පෙමයි
පිදූයේ නුඹෙ ළගින්

ඉතිං දැන්නම්

ආදරෙයි මං

මටත් වැඩියෙන්

කොහොම නම් කියන්නද

මේ තරම්... කොයි තරම්

-පොඩී-
2015 සැප්තැම්බර් 30
කියවන්න...

රහද මළ කුණු



හැඩට ඇදගෙන
විළිත් වහගෙන
උඩම බොත්තම 
තදට දාගෙන...

හමන පැත්තට
ගහං යනකොට
රහද මළකුණු
කටු මිනී අලු...

හවස තිබහට
අනුන්ගේ දුක 
කදුලු පුරවපු
මධු බදුන් මැද...

නලල මැද ඔය 
අතුල්ලාගන
අනුන්ගේ අලු
දැවුණු පණ නල...

සැපද දැන් වත්
හිතට පුහුදුන්
බුදින මළකුණු
දිරෙව්වද අද... ???

-පොඩී-
2015 සැප්තැම්බර් 25

කියවන්න...

Sunday, August 30, 2015

ගෑණු කම





මහ හුළං 
මේඝ කුලු 
ගර්ජනා නැතුවමත්...

මහ හුගක් 
හිතෙන එක
දැනෙන එක
මැවෙන එක...

මහ විසල් 
වරුසාව
ළගම බව
පෙනෙන එක...

රත්නවල්ලී පරපුරේ
පිංචිගේ ජානයක
කොටහක්
ඇවිත් බව හිතෙන එක...

ඒ වුණත්
ඔන්නොහේ
හැගෙන දැනෙන 
ඔක්කෝම 
මග ඇරල
ඉන්න එක
ගෑණු කම....


-පොඩී-
2015 අගෝස්තු 29

කියවන්න...

Friday, August 28, 2015

කන් ඇරලා ඇස් වහලා අහන්න....




ඔයා දන්නේ නැහැ. ඒක අහන්න ඔයාට දැනෙන්නැහැ... ඒකයි ඔයාට ඇහෙන්නේ නැත්තේ. නැත්නම් මේ මට ඇහෙන දේ මේ මං ගාවම ඉන්න ඔයාට ඇහෙන්නේ නැතිවෙන්න බෑනේ නේද?

සමහරවිට මෙහෙම වෙන්නත් බැරි කමක් නැහැ.

ඔයාට ඇහෙනවා. ඒත් ඔයා අහන්න ආස නෑ. ඒ නිසා ඔයා ඇහෙන්නේ නෑ වාගේ ඉන්නවා. 

ඔව් ඔයා ඔයාගේ කන් වහලා. ඇස් විතරයි ඇරගෙන ඉන්නේ. ඇස් දෙකට දෙපැත්තේ කන් දෙකක් දීලා තියෙන්නේ ඇයි කියලා කවදාවත්ම ඔයාට හිතුණේ නැද්ද ?

වැඩි පරාසයක් අහන්න. හොඳට ඇහුම් කන් දෙන්න. පෙන්නේ නැති දේවලුත් අහගෙන තීරණ ගන්න හිතට ඉඩක් දෙන්න. එතකොට හිතට පුළුවන් ඇහෙන දේ ගැන දුර හිතන්න. 

එතකොට ඇස් දෙකක්ම තියෙන්නේ. ඇස් රැවටෙනවා දරුවෝ. ඇස් කියන්නේ හරි ලේසියට රැවටෙන්න පුළුවන් දේකට. හරිම පටු පරාසයක සීමා වෙලා ඉන්න දේකට. 

ඔයා ඔය ඉන්නේ ඇහැට ඉඩ දීලා. දකින දේ ඒ විදියටම අරන්. ඔයාගේ කන් වලට ඇහෙන දේවල් වර්ග දෙකයි. එකක් බාහිර සද්ද. ඒවායේ හේතු ප්‍රත්‍ය ඇස් දෙකට බලන්න පුළුවන්. අනිත් වර්ගේ නම් එහෙම බෑ. ඒ සද්ද එන්නේ ඔයාගෙම ඇතුලෙන්. ඔයාගෙම පතුලෙන්. ඒ කතා කරන්නේ ඔයාමයි. 

ඒකයි මං මේ කියන්නේ. චුට්ටක් ඇස් වහගෙන අහන්න කියලා. කළුවර මහා පුදුම දෙයක්. කළුවරට පුළුවන් ඔයාගේ ඇතුලේ ඉන්න ඇත්ත ඔයාව ඇහැරවන්න. එතකොට ඔයාට ඔයාම කියල දෙනවා ඔයා ඉන්නේ ඔයා ඉන්න ඕනෑ විදියටමද කියලා.

මේ ලෝකේ ඔයා ගැන හොඳටම දන්නේ ඔයා. වෙන කාටවත් පෙන්නේ නැති ඒ හැංගිච්ච ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි හුගක් හොඳ දේවල්. ඔයා දැනගන්න ඕන ඔයා ඉන්නේ හරි තැනද කියලා. 

ඔයා යන්නේ හරිම පාරේද කියලා. ඒකයි මං කියන්නේ. අහන්න කියලා. හොඳට අහන්න කියලා. ඔයාට ඇහුන්කම් දෙන්න කියලා.

දැන්වත් කන් ඇරලා ඇස් වහලා ඔයාව අහන්න හුරු වෙන්න. එතකොට ඔය ජිවිතේ ඔයාගෙම වේවි. ඔයා ඔයාම වේවි. සත්තයි.
-පොඩී-
2015 අගෝස්තු 29

කියවන්න...

Tuesday, August 25, 2015

හදවත් ගිනි ගනිද්දිත්, සිරුරු රිදුම් දෙද්දිත්, හඬ හඬා දුවවන ජිවිතේ සුන්දරම පිපාසය




අතීතය... කම්මුල් රතු වෙලා කඳුළු එනකම් හිනාවෙන්න විතරක් නෙමෙයි ඇස් දෙකම ඉදිමිලා කෑ ගහලා අඬන්න වුනත් හේතුවක් වෙන්න පුළුවන් අතීතයක් ඔයාට වගේම මටත් තියනවා.

ඔන්න ඔයා හිතුවා...වැරදියි මිනිස්සු අඬන්නේ ආදරේ නිසා විතරක්ම නෙමෙයි. මිනිස්සු වේදනා විඳින්නේ ආදරෙන් විතරක්ම නෙමෙයි. දන්නවද ජිවිතේ කියන්නේ හුගක් දේවල්.

හා කියන්න බලන්න මට හුගාක් රිදෙන මාව තුවාල කරන මේ ඉදිකටුව ඔයාට ලස්සන මතකයක් නේද? 

අතීතෙන් ඇහැරිලා හුගක් දෙනා අඩවපු සංධ්වනිය මට කඳුළු දුන්නේ නැහැ. විස්වාස කරනවද? 


ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

මේ වාදීශ දේවමින්ද වික්‍රමනායකගේ ආදරේ. වාදීෂගේ නොවුණු එයාගේ ජිවිතේ අරක් කරගෙන තිබුණු ආදරේ. ඔව් ආදරේකට එහෙම වෙන්න පුළුවන්. වාදීෂව අමතක කරමු අපි. එයාගේ ආදරේ ගැන කතා නොකර ඉමු අපි.

මං මේ කියන්නේ ඔයාගේ ආදරේ ගැන. ඔන්න හිතනවා... වැරදියි ආයෙමත්. මං නොදන්නේ නැහැ. මං දන්නවා ඔයාගේ ඒ ආදරේ ගැන.

අර ඔයාට හරි අමුත්තක් දැනුනේ. එක ආදරේද කියලා සැක හිතුනේ. ඇස් ඇරගෙන බලන්න බය වුණු, ඕනෑකමින්ම ඇස් තද කරගෙන පියාගන්න ඔයාගේ හිත ඔයාට බල කරපු ඒ දවස් වල ඔයාගේ වටේට ඇවිද ඇවිද හිටපු අර අමුතු සුවඳ ගැන තමයි මං මේ කියන්න හැදුවේ.

දැක්කද ඔයාගේ හිත හිනාවුණා. පපුව ගැහෙනවා කියලා දැනෙන්න ගත්තා. අන්න ආදරේ.
ඔයාගේ නොවුණු ඔයාගේ ආදරේ. ඔයා හිනා වුණාට හිතින් ඉකි ගහන වෙට්ටු දාපු අතීතේ. 


හීනෙන් හිනැහී තුන් යාම මා රවටා 
මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා


කාටත් ජිවිතේ කුළුඳුල් ආදරයක් තියෙනවා. සමහරවිට මැරෙනකම්ම දැනගන්නේ නැහැ එක තමුන්ගේ කුළුඳුල් ආදරේ කියලා. ඒ තරමට ඒ හැඟීම වෙනස් අමුතුයි. සමහරවිට ඒ ආදරේ හරිම ඒක පාර්ශවිකයි ! ඔයාගේ වගේ. නේද? 

ඒක පාර්ශවික ආදරයක් කියන්නෙත් ටිකක් ලස්සන දෙයක්. ඔයාම හදාගනිපු ලෝකෙක ඔයාම රජ වෙනවා. ඔයාම යුද්ධ හදාගෙන තනියම සටන් කරනවා. හැබැයි අන්තිමේදී ඔයාම දිනනවා. 

අන්න එතනදියි ඒක පාර්ශවික ආදරේ ලස්සන පෙන්නේ. ඔයා දිනුවම ඔයාට සතුටුයි. ඔයා තනියම සතුටු වෙනවා. හුගාක් හිනා වෙනවා. 

හැබැයි ඇස් දෙක ඇරියම ඇස් දෙකේ හිර වෙලා තිබුණු සතුටු කඳුළු රත් වෙලා කඩන් හැලෙනවා. රතු පාට කම්මුල් වලින් ලේ ටික ඇස් වටේට ගොඩ ගැහෙනවා. ඔයා ඉකි ගහලා අඬනවා.


ඒ නිසයි කළුවරට ඔයා ආස. කළුවරේ ඔයා සතුටින්. අඳුරේ ඔයා දිනුම්. ඒ ආදරේ අඳුරේදී විතරක්ම ඔයාට අයිතියි. ඔයා ඒ අයිතියට කොයි තරම් නම් ලෝබද ?

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා


පව් දෙයියනේ මිනිස්සු. පව් ආදරේ කරන මිනිස්සු..... ඔව් ඔයා කියන්න වගේ අපි හැමෝම පව් තමයි.

ඔයාට රිදුණා නේද ඉකි ගසා අඬපු සංධ්වනිය ඔයාව තුවාල කලාට විස්වාස කරන්න සංධ්වනිය තමයි මාව සනීප කළේ. 

සංධ්වනිය තමයි මට හිනාවෙන්න ඉගැන්නුවේ.

සංධ්වනිය තමයි මගේ එහෙ මෙහෙ වෙලා තිබුණු පද පේළි ටික එක්කාසු කරලා හරියටම හරියන තාලයක් හදලා දුන්නේ.


ජිවිතේ අන්න එහෙමයි. සංධ්වනිය වගේ. ඔයාටයි මටයි එකම සංධ්වනිය වස්තු බීජ දෙකක්. ඔයාටයි මටයි එකම ජිවිතේ අරමුණු දෙකක්. තේරුම් ගන්න ඒක. එතකොටයි ලස්සන වෙන්නේ හැමදේම.

නිකම් හිතන්න වාදීෂගේ ආදරේ ගැන ඔයා මොකද හිතුවේ. ඔයා හිතුවේ වාදීෂ පුන්‍යා ට ආදරේ කියලා නේද ?

ඔයා වින්දේ වාදීෂ පුන්‍යා ආදර කතාවද ? එතකොට සෞන්දර්යා.. පව් නැද්ද ?


එකකට එකක් සම්බන්ධ එකක් පස්සෙ එකක් ගමන් කරන දේකට මිනිස්සු කියන්නෙ ජීවිතය කියල...
එකකට එකක් සම්බන්ධ නැති මෙන්න මේකයි කියන්න හෙතුවක් නැති දේට මිනිස්සු කියන්නෙ ආදරය කියල...



-පොඩී-
2015 අගෝස්තු 25



කියවන්න...

හිනැහෙන දහම



සුදු මුදු සිනිදු
පිපි මල් පොකුරු
වන තුරු වදුලු
වල මිස නොවේ....

දුක දුටු දෙනෙතු
තෙත හුරු කදුලු
රිදුණම පවා
සිනහා මැවේ....

එතෙකින් නුහුරු
සැප යස ඉසුරු
නොසිතුව මතින්
දහමින් ලැබේ....

-පොඩී-
2015 ජූලි 29

කියවන්න...

වීදි ලාම්පු




පාන්දර කලුවරේ
හීතලට ගල් ගැහුණු
කාපට් පාර දිගටම
පහුකරන් ගිය අරුම
අපි අපිවම....
අපිම මග දමා යන
වැඩ මුරය නිමා කළ
මග දෙපස
නිදි කිරන
වීදි ලාම්පු වල
ගැහෙන එළියට
හැදුණු අපේම හෙවනැලි
පහු කරන් ඇදී යන අරුම
අපි
අපිවම...


-පොඩී-
2015 අගෝස්තු 15



කියවන්න...

පෙකණි වැල හයියයි



අත් දෙක නැතුව ඉපදුණා කියලා කුසින් වදාපු දරුවා එපා කියපු අම්මෙක්ගෙයි අප්පෙක්ගෙයි කතාව ලියන්න ඕන නෑමයි කියලා හිතං උන්නු සිද්දියක් ආය මතක් කලා....

ඒත් අම්මෙක්. දරු තුන් දෙනෙක්ගෙ අම්මෙක්.තාත්තත් යන්තමට එදා වේල හොයාගන පවුලම ජීවත් කරවනවා. තුන් වෙනි දරුවා බොහෝම අසාමාන්‍යයි. පෙනුම විතරක් නෙමේ තනියම කිසිම දෙයක් කරකියාගන්න බැහැ.වයස දැන් 14ක්. ඒත් ඉන්නෙ අම්මගෙ අතේ. 

කවන්න පොවන්න ඕන. රිදෙනවා කියන්න වත් තේරුමක් නැහැ. ඒත් අම්ම නම් දන්නවා.දරුවා රිදෙද්දි මූන කොහොමද කියලා. දරුවට හුගාක් දුර්ලභ අසනීපයක්. 

'ඉපදෙද්දි මිනිස්සු බලන්න ආවෙ ඔලු දෙකේ ළමයෙක් ඉපදිලා කියලා. ළගටවත් එන්නෙ නැතුව ඈත ඉදන් බලලා යනවා. මාත් කෑ ගහලා ඇඩුවා.ඒත් මගේ දරුවනේ නෝනා.මට වටිනවා.කොහෝම හරි අපි මෙච්චරක් කල් ජිවත් කරගත්තා.දැන් අපි තුන් දෙනාගෙම පණ තමයි මේ. මං දන්නවා මීට වඩා දරුවගෙ දියුණුවක් වර්ධනයක් නෑ කියලා. ඒත් මේ මගේ කුසින් උපන් පැටියනේ නෝනා'

අම්මා එහෙම් කියන්නේ කදුලු පුරෝගෙන. හැබැයි හරි ලස්සන හිනාවකුත් එක්ක.ඔව් ඒ පවුලම දරුවට පන වගේ ආදරෙයි. 

'අක්ක තමයි මෙයාගෙ අම්ම. මට වඩා හොයනව බලනව. අයියා ඉස්කොලෙ යන එක නැවැත්තුවා.තාත්ත එක්ක හම්බ කරනවා. චූටි පුතාව ඉස්පිරිතාලෙ ගේන්න ත්‍රී වීල් එකක් ගත්තා ළගදි.අපිට මෙයා කරදරයක් නෙමේ.මං ඉන්න කල් මෙයා ජීවත් කරගන්නයි මට ඕන.'

ඒ අම්මා විතරක් නෙමේ මුලු පවුලම ඒ පොඩි එකා වෙනුවෙන් ජීවිත කැප කරලා. පොඩි කාලයක් නෙමේ.අවුරුදු 14 ක් තිස්සෙ. 

මේ වගේ මනුස්සකම් පිරිච්ච මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද කියලත් සැකයි නේද.
ඒ දරුවා මෙච්චරක් කල් ජීවත් වෙන්න හේතුව ඒ අම්මගෙ තාත්තගෙ බෝධිසත්ව කම.

අත පය හතර හොදට තියන දරුවොත් කුසින් වදලා මග දාලා යන ලෝකෙ මේ අම්ම හරි උතුම්.



-පොඩී-
2015 අගෝස්තු 20
කියවන්න...

ළඟ නැති අපේ හිත් ....



අනේ පව්...
නුඹ ගාව
නුඹට නොකියාම
මං තියාලා ආ
මගේ හිත....
බල බලා
ඔය ඇස් දෙසම
හිතනවා 
නුඹේ හිත ගැනම...
මං එක්ක මෙහෙ ආපු
මටත් රහසේම...
ඉතිං
නුඹ ගාව මගේ හිත
මං ගාව නුඹේ හිත
අපට රහසේම

-පොඩී-
2015 අගෝස්තු 20
කියවන්න...

Saturday, August 1, 2015

අහස නිදහස වචන සහ ඔබ




නිදහස අහස .... 
අහස නිදහස .... 

වචන වචන වචන ... වචන කියන්නේ හැමදේම නෙමෙයි තමයි. හැබැයි වචන කියන්නෙත් යම් දෙයක්. හැමදේම නොවෙන ඒ යම් දේ මොකක්ද කියලා හිතන්න ඉඩ දෙන්නේ නිදහස දෙන්නේ අහස විතරමයි.

වචන වල ඒ යම් දේ හොයාගෙන යද්දී මට නම් අසීමාන්තික නිදහසක් දුන්නු එකම දේ අහස. 

ඉතින් අහසට මං ඒ තරම් ආදරෙයි. නිදහස කියන්නේ කටින් නොඉල්ලුවත් හැම ප්‍රාණියෙක්ම අල්ලලා බදලා ළගින් තියාගන්න ආස කරන එකම දේ. ඒ නිදහස තියෙන්නේ අහසේ. වලාකුල් අස්සේ. තරු එළියෙන් දිලිහි දිලිහි. පාට පාටට බබල බබල. නිදහස අහසේ ඉන්නවා.

අහස වගේ අසීමාන්තික ආදරයක් හිතට දැනෙන්න පුලුවන්ද කියලා ආදරේ කරන්න කලින් ඕනම කෙනෙක්ට සැක හිතෙනවා ඇති. මට වගේ. ආදරේ අලුත් වචනයක් වුනාම, එහෙම හැඟීමක් හිතට ආගන්තුක වුනාම ඇත්තටම මං ආදරේ කරන්න දන්නවද කියලා බය හිතෙන එකත් හරි අමුතු දෙයක්.

මනුස්ස අපි ඉපදෙන්නෙම ආදරේ බදාගෙන. අපි නොදන්නවා වුනාට ආදරේ මුල් බැහැගෙන පැල් බැදගෙන හිත් අස්සේ බලන් ඉන්නවා. හොඳම වෙලාව එනකම්ම. ඒ වෙලාව ආවම වැට ඉනි කඩාගෙන ඉවුරු පුරෝගෙන දෝරේ යන එක කාටවත්ම නවත්ත ගන්න නම් බෑ.

ඒ අහස වගේ ආදරේ... ඔයා වගේ.. මගේ අහස. මගේ නිදහස.

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබම පමණයි
ඔබ අනන්තයි

එතකොට අහස ආදරේ වුනාම ආදරේ මගේ වුනාම විශ්වයට සීමාවක් හොයන්න බෑ. ඒකයි මේ ලෝකේ අසීමාන්තික නිදහසේ අහසටයි, හිතම නිවන මුහුදටයි විතරක්ම ඔයාව සමාන වෙන්නේ. ඉතින් ඒ නිදහසයි නිවනයි ගාව මං ජිවිතේ නතර කළා. බාර කළා. 

රූපෙට රූපයක් නෙමෙයි ආදරේට ආදරයක් වෙන්න හිතාගෙන. 
ජීවිතේට ජීවිතයක් දෙන්න හිතාගෙන. 
පණට පණක් වෙන්න හිතාගෙන.

වෙණ තතක් හැඩවෙන තැනක් ඔබ
මධුවිතක් උතුරන තැනක් ඔබ
තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ
හිත නිවනට යන පාරේ පසුබිමින් ලයාන්විතව වැයෙන මියුරු සංගීතය ඔබේ ස්වරය වුණහම... මං හෙව්වා මට මග ඇරුණු සුන්දර රාගයක තිබුණු ස්වර පේළියක් වත්ද කියලා මේ ඇහෙන්නේ.  

නෑ... අලුත්ම මිහිරක්.. නැවුම් සංගීතයක්. ඔව් ඔබ මට ගයන ජීවන ගීය අමුනලා තියෙන්නේ ඔබේ හද ගැස්මෙන් ... ඉතින් හැබෑවයි.. වෙන කොහෙද මේ වෙණ නද ?

මී බිඳක මත් බවක් වත් මෙතුවක් නොදැනුණු ආදරේ හුස්මක් වත් නොගෑවුණු හදවතට මේ දැනෙන දේට අරුත් පද ගලපන්න ඇත්තමයි මට තාම දැනෙන්නේ නැහැ. ඔව් මත් වෙලා ඔය සෙනෙහසෙන්...

ලෝකෙකට කවි ලියපු මට ලියවෙන්නේ නැහැ දැන් ඔයාගෙන් එහා වචනයක් වත්. ඇහැරෙන්නේ පියවෙන්නේ ඇස් පිරෙන්නම හිත උතුරලා දොරේ යන්නම ඉතින් ඔය ආදරේ උරුම මට නේ.

අහිංසක ආදරයක් ළඟ මුළු අනාගතේම මවා ගන්න හැමෝම එහෙමයි.. ඔයත්,

අඩ සඳක් සැඟවෙන තැනක් ඔබ
රල පෙළක් පෙරලෙන තැනක් ඔබ
සිහිලසක් දනවන තැනක් ඔබ
උනුහුමක් ගෙන එන තැනක් ඔබ

අම්මෙක්ගේ උණුහුමේ ඉපදිලා තාත්තෙක්ගේ සෙනෙහසෙන් පණ අරන් ලෝකෙට එන පුංචි කෙල්ලෙක්ගෙ හිත පරෙස්සමට බාර අරන් ලඟින් තියාගන්න බාරගන්න පිරිමි හිතකට පුලුවන්ද ඇත්තටම...

ඒ ගැන හිතන්නේ නැතුව පරෙස්සමක් දැනෙන තැනක නවාතැන් හොයන කෙල්ලෙක්ගෙ හිත තේරුම් ගන්න පුළුවන් කම පිරිමි ජාන වලට එන්නේ ඉබේමද ?

ආදරේ ගාව පිරිමි ලොකු වෙනවා.... ගෑණු ළපටි වෙනවා... ළපටි හිත් පරෙස්සම් කරන්න පිරිමි හිත ආදරෙන් පන්නරේ ගන්නවා. දරුවෙක් හදන්න කලින්ම තාත්තෙක් වෙනවා.

ඒත් එක මොහොතක ඒ පිරිමි හිත දරුවෙක් වෙනවා... අම්මෙක් හොයන.. කෙල්ලෙක්ගෙ උණුහුමෙන් අම්මෙක්ගේ ආදරේ හොයන. ඒ මොහොත තමයි දෙන්නෙක්ගේ ආදරේ ලොකුම බැඳීම.

නීතිමය බැඳීමක ... ශාරීරික බැඳීමක හොයා ගන්නවත් නැති ආදරේ තියෙන්නේ එතන.. ඒක හැමෝම විඳින්නේ නැහැ. හරිම ටික දෙනෙක් බොහොම සුළුතරයක් වාසනාවන්තයි ඒ හැඟීම විඳින්න... 

ඉතින් නිදහසේ ඇවිදන් යන්න අහසේ තරු එක්ක වලාකුල් මැදින් මුහුදටත් උඩින්... ජිවිතේ හොයාගෙන.... තනියම නෙමෙයි ඔයත් එක්ක.

-පොඩී-
2015 අගෝස්තු 8






කියවන්න...

නන්නාදුනන හුරුව



පාවෙන හුස්ම
රිදුණාම 
මායා හීන
මැකුණාම
වියළුණු දෑස
තෙමුණාම
විතරම නොවේ
ආදරේ....
සසරේ දුරම
ගමනකට
යන එන 
තනි නොතනියට
නන්නාදුනන හුරුවයි
ගැඹුරක් නොදුටු
ජීවිතේ....

-පොඩී-
2015 ජූලි 28

කියවන්න...

කින්නර කඳුළු



කින්නර හීන
ගං දිය මතින්...
උන්ගෙන් මිදී
දුර යනු බලන්...
වැරදීමකින්
අත් හල එකදු
සුසුමක් හොයයි
කින්නර ළදක්...
වලලනු ලොබින්
බැදි පෙම් දැහැන්...
කින්නර කදුලු
උතුරා ගලයි
මළ හිමි මතින්...

-පොඩී-
2015 ජූලි 16
කියවන්න...

Monday, May 4, 2015

පිච්චෙන්න පුච්චන්න...



ගෙන්දගම් මහා පොළව
උඩ දැවෙන කර අව්ව
කොයි තරම් පිච්චුවද
එක හිතින් පෙම් කරපු
තනි හිතක්....
......දන්නවා නම්
සිනහවක් හොයාගෙන
මග යද්දී පිපාසෙට
ඇද හැලුණු කඳුළු වැහි
සියොළඟම දවපු හැටි
......දන්නවා නම්....
මහා හුගක් ළඟ ඉන්න 
අද ඉඳන්
තව හුඟක් ළඟ ඉන්න 
හෙටක් ගැන
විතරක්ම හිතන 
තනි හිතකට
දෙන්නේ නැහැ ගින්දර
අතීතෙන් අවුළුවන ....
පිච්චෙන්න
ටිකෙන් ටික 
ආයෙමත් ආයෙමත්
හිතලාම නිවෙද්දීත් 
ආයෙමත්
ආයෙමත්
හුරු වෙන්න පුළුවන්
කමක් නැහැ....
පුච්චන්න 
ආයෙමත්
ආයෙමත්
නිවෙන්නට තරම් 
මහා හුඟක් සිසිලසක්
ගලන මහ සෙනෙහසක් 
ලැබෙන නිසාවෙන්
පෙර කරපු පිනකින්....

-පොඩී-
2015 මැයි 4





කියවන්න...
Designed By Blogger Themes