සටහන්

Friday, February 28, 2014

නූපන් පොහොට්ටුව


තවම නූපන් මල් පොහොට්ටුව
තුරු රිකිල්ලක මුදුන් දලු මැද
හිරු කිරණ නැග නැගෙනහිර නුබ
මල් වරන තුරු හීන මැව්වා

ඈත අඳුරෙන් උපන් දෙබරෙක්
මෑත නොපිපුණ මලට ලොබ බැඳ
ලොවට සැඟවී අඳුරු වර ගෙන
මල් කිනිත්තේ ලැගුම් ගත්තා

ඉරට කලියෙන් පීදියන් නුඹ
බසින් රවටා මල් සිඟිත්තිය
නිදන මල් පෙති එකින් එක ගෙන
මුලින් උදුරා තලා දැමුවා

බලා නිසි කල පිපෙන විට ඉර
තැලී පොඩි වී අහිංසක මල
කඳුලු හෙලමින් තනිව ගස මුල
මියෙන්නට පණ අදිනු දුටුවා


-පොඩී-
2014 පෙබරවාරි 28



කියවන්න...

Thursday, February 27, 2014

කුළුදුල් පෙම




අසම්මතයට 
සිතින් පෙම් බැඳ
දුකින් නිමවූ 
කුළුදුලේ පෙම
හිනා පූදින 
හීනයක් දැක
අවදිවූයේ 
කදුළු නුවරක

ආමගක් නැත 
යන තැනක් නැත
නතර වන්නට 
තොටුපලක් නැත
මහමෙරක් යැයි 
කියූ සෙනෙහස
කප්පරක් දුක 
උරුම කොට ඇත



- පොඩී -
2014 පෙබරවාරී 27



කියවන්න...

Friday, February 21, 2014

නුඹ නුදුටු මල්




පිරුනු තුරු ගොමු අතරින් 
තුරු හිස් මුදුන් ඉහලින්
හැමදාම නුඹ සොයා ගිය ඒ
හිනා මල් පොකුරු 
පිපී තිබුනා මගේ හිතෙත්
නුදුටුවාට නුඹ 
කවදාවත්ම.......

- පොඩී -
2014/02/21



කියවන්න...

Tuesday, February 18, 2014

මියැදුණු පහණ



ගොම්මන් කළුවර ඇහැරෙන්නට පෙර
අඟුළු දමන්නට බැරි වුණු කවුළුව
ඔහේ දමා යන උතුරු හුළඟකට
එන්නට දීලා මගෙ හිත් ගෙදරට

පරෙස්සමට කාටත් රහසේ මම
දල්වාගෙන උන් මගේ පහන් සිළ
දෙනෙත වසන සැනෙකින් දුවගෙන විත්
මරා දැමුවේ කිමද සුළඟ නුඹ

මියැදුණු එළියට යළි පණ නැතුවට
දැල්වුණු උණුසුම තාම දැනෙයි මට
කවුළුව අභියස නොහඩා තව නුඹ
එන්න සුළඟ ගෙට මතක බණයි හෙට



- පොඩී -


කියවන්න...

පන්හිද



අන් සිතක වග
අන් අතක හිඳ
අනෙකෙකුට අවැසි සේ
පතිරුවක ඉද

අන් නෙතක අග
නොගැටෙනා ලෙස
ලියු මතින් කුරුටු ගෑ
දෙසිත් සිත නුඹ 
පන්හිද



- පොඩී -



කියවන්න...

Sunday, February 16, 2014

පිරිත් පැන් වැස්ස නුඹ




ඉර ඇවිත් හිස මතට
සියොළඟම දවන විට
පවස නිවනට තිබුණු
පැන් පිරුණු දිය කඩිති
වියළිලා 
පැලි වළං පුපුරාපු 
පාර දිග
ගලාගෙනවිත් සැණින්
තෙමා පෙති ආදරෙන්
මියැදෙන්නට නොදී
සියපතට පණ පොවන
හිත නිවන
නෙත පිහින
පිරිත් පැන් වැස්ස 
නුඹ...


- පොඩී -
2014 පෙබරවාරී 16



කියවන්න...

Tuesday, February 4, 2014

පෙම්පත



ඉඩෝර හුළඟට
ගහගෙන එනවද
එන අවුරුද්දෙත්
ඇවිත් යන්නවත්
සුසිනිදු 
පෙම්පත

- පොඩී -




කියවන්න...

අහිමි නුඹ


අන්සතු උයනක 
පිපී සැලෙන විට
දුටුවේ මං නුඹ 
කැකුළු මලක් ලෙස
මා සතු වන්නට 
වරම් නොමැතිනම්
අදිසි වෙයන් නුඹ 
මිලිනව උයනට...

- පොඩී -
2009



කියවන්න...

වෙනස


වෙනසකට වෙනස්ම අරුතක් දුන්
මා වෙනස්වූ මුත්
මට වෙනස් නොවූ නුඹ...
වෙනස යනු,
වෙනසම බව කියාදී
වෙනස් වන අරුමය
නොවෙනස් 
මට...

- පොඩී -
2012


කියවන්න...

හොරුගත් ඩිග්රිය




කෑගහන හදවතක
ලේ ගලන උණුසුමට
පුළුවනිද නුඹලාට
දෙන්න A/C මැෂින්

වැදූ මව ඇස් දෙකින්
හැදූ පිය සියොළඟින්
ගලන දහදිය කදුළු
වලට මිල කියාපන්

සිනිදු සේලය ඔතන්
විල්ලු පලසක නිදන්
ඩොලර් මිටි ඇති උන්ට
ඩිග්රි ඇත අත ළඟින්

නෙතු කෙවිනි නිදි වරන්
කුසින් අඩකට කමින්
සරසවිය උරුම කල
සහතිකය හොරු අරන්

- පොඩී -
2011


කියවන්න...

Monday, February 3, 2014

එදා මගේ සිහිනය




එදා මගේ වුණු සිහිනය
මෙදා අයිතිවී අදුරට
මුවා වෙලා සඳ පළුවට
කිමද තවම සරදම්

හිනා උනත් මම තනියම
අරන් ගිහිපු මගේ හිත ළඟ
පිපුණු කදුළු මල් අස්වනු
වල උරුමය නුඹ නම්

- පොඩී -
2012


කියවන්න...

Saturday, February 1, 2014

උණුහුම



දෑඟිළි පාඟිළි 
තුඩු කිළි පොළමින්
නෙතඟ කදුළු උණවා
හිත හඩවන
අදුරු නිශාවක 
තනිවම වැළපෙන
නුඹේ සුවඳ මට 
දැනුනා අම්මේ...

තුරුල් වෙලා නුඹ 
ඇකයේ සැතපුන
ගතට දැනුන ඒ 
සෙනෙහස් උණුසුම
තදට පියා නෙතු 
සිහියට ගන්නට
ඈත උනත් නුඹ 
පුළුවනි අම්මේ...

අකුරට ලොල් බැඳ
නුඹ සනහන්නට 
සැනසුන නුඹ මුව
සිනහ දකින්නට
හීනෙන් මා නළවා 
සැතපෙන නුඹ
සිහිකර නෙතු 
නොපියන්නෙමි 
අම්මේ...

- පොඩී -
- 2011 පෙබරවාරි 25 -


කියවන්න...

පණ දුන් පණ




බුදු සුවඳට ළඟ 
නුඹේ ගුණ සුවඳ
ළඟින් විදින්නට
පින් නැතුවට මට
බුදු වදනට ළඟ 
නුඹේ ඔවාමිණි
කනින් අසන්නට 
පින් නැතුවට මට
කිසිදා නොවැටුණු 
සවිබල සපිරුණු
නුඹේ දෙපා යුග 
වැ සැනහෙන්නට
නුඹට දුවක වී 
ලොව උපදින්නට
කාටත් නැතුවට 
පෙර පිං ඇත මට

පොඩී
- 2011 ඔක්තෝම්බර් 12 -


කියවන්න...
Designed By Blogger Themes