සටහන්

Monday, September 26, 2016

මං එහෙමයි... ඒ මගේ හැටි ;)


මං මහම මහ ඉරිසියාකාරියෙක් නුඹව මං ළඟ තියාගන්නම හීනෙනුත් හීන කඳු ගහන මහම මහ ලෝබයෙක් මං මහම මහ බොරු චණ්ඩියෙක් නුඹව ඉඹගෙන යන්න එන හුලඟටත් ග්ර්ර්ර් කියන මහම මහ මෝඩියක් මං කාටත්ම වැඩියෙන් පිං කරපු මනුස්ස දුවෙක් නුඹේ හිතුවිලි ඇතුලේ සෙනේ සුවඳින් හුස්ම අරගෙන ජීවිතේ ජීවත් වෙන්න වාසනා කරපු ආත්මෙක අයිතිකාරියක් මං....

-පොඩී-
2016 සැප්තැම්බර් 26




කියවන්න...

හංගපු ලියුම් 02



දවසක් දෙකක් නෙමේ ජීවිතයකටත් වඩා දුර යන බැදීමක් කියන්නේ නිවනක්. 

නිවනක් නිදහසක් එක්ක ජීවත් වෙනවා කියන්නේ වාසනාවක්.

ඒ වාසනාව හැමෝටම ලැබෙන්නෙත් නෑ. ලැබෙන සමහරු ඒ ගැන හරි හමන් තේරුමකුත් නෑ.

දවසක් දෙකක් නෙමේ. හැම විනාඩියක් තප්පරයක්ම සතුටක් හිනාවක් පිරුණු ජීවිතයක් ලැබෙන්න ආත්ම ගානක් පිං කරන්න ඕන.

බොහොමයක් වෙලාවට අපි කරන ලොකුම වැරැද්ද අපි ආස අපිට ඕන දෙයක් පස්සේ දුවගෙන යන එක. 

පුංචි කාලේ සමනල්ලු අල්ලන්න දුවනවා වගේ.

හැබැයි අපිට අමතක වෙනවා සමනල්ලු අපි ගාව ඉන්න කැමති නෑ කියල. අපි අපිට ආස නිසා සමනලයෙක් අල්ලගෙන බලෙන් හිර කරගෙන තියාගත්තම අපිට ඕනි දේ ලැබුණට ඌට ඕනි අපෙන් ඈතට ඈතට ඉගිල්ලිලා යන්න.

සමහරවිට පුංචි දවස්වල වුණත් අපි අපිට ආස නැති සමනල්ලු පස්සේ එළවන් යද්දී අපිට ආදරේ අපි ගාවම ඉන්න ආස පපියා අපි පස්සේ එන්නැති. අපිට ඌව බලන්න අමතක වෙන්න ඇති.

හෝම්ස් කියනවා ඉතිහාසේ ආය ආය වෙනවා කියල. පොඩි උන් වගේ සමනල්ලු පස්සේ දිව්වේ නැති වුනාට අපි නාකි වෙනකම්ම කරන්නේ ඔය වැරද්ද්දමනේ.

අපිට ඕනේ දේවල් පස්සේ දුවලා අපිව ඕනි අයව මග ඇර ගන්නවා.

ඒකයි පොඩි හැමදාම කියන්නේ  " ඔයා ආස කෙනෙක් ළඟ නෙමේ. ඔයාට ආස කෙනෙක් ළඟ නතර වෙන්න. ඔයාට ආස කෙනා මුණ ගැහෙනකම් ඔයා ආස මෙහෙමයි මෙහෙමයි කියලා සාම්පල් චරිත හදාගන්නේ නැතුව ඉන්න. 

මොකද අර හදපු අච්චු ඇතුලට මිනිස්සු දාන්න ගියාම කෑලි කපලා අයින් කරන්න වෙනවා. හිස් තැන් අස් කොන් අඩු පාඩු ඉතුරු වෙනවා. එතකොට පසුතැවීමක්. අපරාදෙනේ ඉතිං... 

ඔයාට ආස කෙනා හමු වුණාම ඒ විදියට ඔයා ආස චරිතේ හදාගත්තාම කිසි අඩුවක් නෑ. කිසි පසු තැවීමක් නෑ. "

එහම හරිම හරි තැන නතර වුණහම, ඒක හුගාක් දැනෙනවා. මහා විසාල වටිනාකමක්... මෙච්චරක් කියන්න බැරි තමන්ගේ කමක්.. ඔයාගේ ඇස් ගාව පොඩිට දැනෙනවා වගේ... පහු පහු වෙද්දී තව තව වැඩිවෙන මගේ කමක් ඒක... 

අන්න එහෙමයි හුස්මත් එක්ක ජීවත් වෙද්දී. හුස්මෙන් හුස්ම ජීවිතේ දැනෙද්දී. 

නිවනයි... නිදහසයි... :)

- පොඩී -
2016 සැප්තැම්බර් 26


කියවන්න...

Saturday, September 10, 2016

හංගපු ලියුම් 01





ආදරේ කියන්නෙ මොකක්ද මොකක්ද කියලා හොයන් යද්දි අපිට ඒ තනි වචනෙට පොතක් ලියන්න තරම් දිග තේරුම් මුණ ගැහෙනව. එච්චරක් නෙමේ සමහර සිද්දි නිසා හිතාගෙන ඉන්න දේවල් වෙනස් වෙනවා. ප්‍රතිපත්ති අලුත් කරන්න වෙනවා. වෙනස් විදියට ජීවිතේ පිළිගන්න සිද්ද වෙනවා.

ඔය හැමේකක්ම අතරේ අපි තැනක නතර වෙනවා.. 

එතන ජීවිතේට පහසුවක් දැනෙන තැනක්. ජීවත් වෙන්න හිතෙන තැනක්. බලාපොරොත්තු වලට හීන වලට පාට පොවන තැනක්.

ආං ඒ තැන හම්බෙන්නෙ නම් අහම්බෙන් කියලා මං දැනගෙන හිටිය. හැබැයි ඒ ඔයා වෙයි කියලා අවුරුදු තුනකට කලින් නිකමට වත් හිතුනේම නෑ..

ඔව් දැන් අවුරුදුම තුනක් වෙන්න එනවා.. මගේ දිග කතන්දරයි.. ඔයාගෙ වචන නැති ඇස් වලිනුයි හුස්ම වලිනුයි පිරුණු කතන්දරයි පිරුණු අපේ පොත දැන් හරි ලොකුයි.. ආපහු පෙරල පෙරලා බලද්දි මොකක්ද සතුටක් දැනෙනවා..

සමහර තැන් වල කදුළු නැතුවාම නෙමෙයි.. ඒත් මේ ආපු පාර ලස්සනයි.. තව හුගක් දුර හදන් යන්න පුලුවන් කියලා Life Time Warrenty යක් දෙන්න පුලුවන් උඩ පැනලා කරණමකුත් ගහලා...

මං ලියුම් ලිව්වෙම නෑ. එකක් ලිව්වද මන්ද.. ලියපුවත් හැංගුවා.. නැත්නම් පිච්චුවා... ඇයි ලියල හංගන්නේ ?? කීප දෙනෙක්ම අහල තියනවා..

හංගපු ලියුම් මතක මතක හැටියෙන් ලියල දාන්න හිතුවා.. ;)

දූවිලි පිහලා සුද්ද බුද්ද කරලා ගත්තම හචිස් දෙක තුනකින් නවතින්නේ නෑ .. අහේතුවට ඇස් දෙකත් චුට්ටක් තෙමෙනවා...

ගෑණු සතුටටත් අඬනවා... දුකටත් අඬනවා... කඳුළු කියන්නේ එහම දෙයක්  Hybrid ;)  User Friendly...

එදා අහස අඬනවා... දිගටම අඬ අඬා හිටපු එකියෙක් ' මේ මං අඬන්නේ නෑ' කියලා විරිත්තුවා... හැබැයි අහස දැනන් හිටියා මේකි දැන් ඇඩුව ඇති කියලා. ඉතිං ගහක් අයිනේ පාරක් අයිනේ වැවක් ළඟට තරුවක් ගෙනල්ල අහස අලුත් කතාවක් ලියන්න ගත්තා. 

ඒක ලස්සන පටන් ගැන්මක්.. අහසක්, වතුරක්, ගහක්, තරුවක් ඔය ඔක්කොම එක තැන කියන්නේ ඉවරක් නැති මහා නිදහසක් ! නිවනක් ! ආදරයක් !


-පොඩී-
2016 සැප්තැම්බර් 11









කියවන්න...

මට ඇහෙන්න හිනා වෙන්න .....


කදුලු ඇතත් මග හරිමින්
මං ආසයි හිනා වෙන්න
ඊටත් වැඩියෙන් ආසයි
නුඹේ හිනාවක් බලන්න

හැම හීනෙම දිලිහෙන එක
තරුව නුඹම බව කියන්න
ආසයි මං එතකොට නුඹ
හුස්ම ගන්න හඬ අහන්න

පපු ගැඹුරෙන් එන හුස්මක
මගේ පණ ටික හිර කරන්න
තරහක් නෑ ආදරයේ 
පුංචි හිදැස් තියාගන්න

ඒ අස්සෙන් ඉඳල හිටල
අත හැරි කඳුලැලි බලන්න
අනේ එපා ඒ කඳුලට
ආය එන්න මග කියන්න

සුසුම් පිරුණු ආ මග දිග
බලා ඉඳන් හිනාවෙන්න
ආයෙත් නෑ එහෙම දවස්
දිවුරන්නම් හිතට ගන්න

මට ඇහෙන්න හිනාවෙන්න
හිත පිරෙන්න හීන දෙන්න
තියන තරම් මේ ඔක්කොම
සෙනෙහස ළඟ හුස්ම ගන්න


-පොඩී-
2016 සැප්තැම්බර් 11





කියවන්න...

Sunday, June 26, 2016

රත්තරං අම්මේ , ආයෙමත් එනව අපි !!!



නුඹ දුන්නු කමටහන් 
අත් දෙකට මිටි කරන්
ආයෙමත් එනව අපි
නුඹ සොයාගන හෙටත්....

විලිරුදා කිරි පොවා
නැතුවාට නුඹ තවත්
හැදුවාය අපි වගේ 
තව හුඟක් වෙද පුතුන්....

ඉතිං ඉවසන්න බැහැ
දුටුවාම.. ඇහුවාම
නුඹට කියනා කියුම්
නුඹව කෙළසන්න එන
අවජාත අත් වලට
ඉඩක් නැහැ ලං වෙන්න
අම්මෙ අපි ඉන්නකං....

අපි වගෙම ඇකයේ හොවන්
නුඹ හදන අපෙ සොහොවුරන්
අත් කකුල් කඩනකම්
හිස් මුදුන් පලනකම්
ඉන්නෙ නැහැ අම්මෙ අපි බලං....

හෙට ඉඳන් උන් එක්ක
අපිත් එන්නම්
ගියත් ආපහු
විසි දෙකේ නුඹේ දරුවෝ....

-පොඩී-

2016 ජුනි 21

කියවන්න...

Tuesday, June 21, 2016

ඒ තරුවමයි නුඹ...



එක ගහක් හුළඟට වැනෙන කොට
පිපි මලක් තාලෙට නටනවා
තුරු මුදුන මත දුල එළිය
හෙමිහිට අහස් තලයට ඇදෙනවා

ඒ එළිය හැඟී වලාවක
අළුයමට අහසේ දිලෙනවා
ගොම්මනේ අඳුරත්
හිතේ කඳුලත් එවන් එළියට මියෙනවා

හඳ ඇතත් නැති කළුවර අමාවක
පවා සෙනෙහෙන් වඩිනවා
මේ නුඹත් ඒ අර පහන් තරුවත්
එක වගේදැයි මට හිතෙනවා

අද මතුත් හෙට අන් පණක් ලදුවත්
නුඹේ උණුහුම සොයා එනවා
ඒ සෙනේ ගගුලේ ගිලී සැතපී
නිවන් පුර දොරගුළු අරිනවා


 -පොඩී-
2016 ජුනි 21


කියවන්න...

Tuesday, June 14, 2016

ලියූ කව ...



මම ලියූවෙමි
එකම එක කවක්

සොදුරු යයි හිතාගන 
වතාවක්...

ලියූ කව
එළි වැටත් අහිමිව
පණ අදින නිමේශෙක..

අකුලලා පතිරුවම 
පොඩි කළා අතීතෙක
හිර කළා ආයෙමත් නොඑන්නම...

ඇවි ඇවිත් ගසාගෙන 
ඇනි ඇනී හිත මතම
පහුරු ගාගෙන යන්න 
ඇවිල්ලා ලියූ කව
ආයෙමත්

ගිණිලන්න අළු වෙන්න
අළුත් ගගකට දෙන්න
ආයෙමත් මේ හමන 
හුළගකටවත්
හමාගෙන එන්නවත් බැරි තරම් දුරකටම
පාවෙලා උඹ යන්න 
ලියූ කව... !

 -පොඩී-
2016 ජුනි 14
කියවන්න...

Wednesday, April 13, 2016

ඉතිං ගලන්න... නිදහසේ හමන්න.. මටත් චුට්ටක් නිමෙන්න...



අහස පේන වතුර තියන නිද......හස් තැනක ඔහෝ.....ම ඉදගෙන පේන දුරක් බලාගන ඉන්න ඕනි මට...

අහසෙ ඇවිදින වළාකුල් පොකුරු වලින් සත්තු ඇවිදින පෙරහැරක් හදන්නෝනි මට...

තව තව වතුරට ලයිට් එළි වැටුණම දිලිහෙන ඉරි අස්සෙන් මාළුන්ගෙ ඇස් පේනකම් බලා...ගන ඉන්නෝනි මට...

හාකොද ????

ඉතිං මං දන්නව එතකොට ඔයා හාකො හාකො කියනව.... ඒ ඔක්කොම අහං ඉද්දි ඔයාගෙ ඇස් දිළිසෙනව... දන්නවද ඒ දිළිහෙන ඇස් තමයි මං බලං ඉන්න ආස අහස..

ඔව් ඔයාගෙ හුස්ම ගාව විතරක්ම නිවිල සැනහෙන මගෙ ජීවිතේට තියන එකම නිවන ඔයාගෙ ඇස් මත්තෙ පාවෙන ඇවිදින හීන...

මට ඕනි ඒ අහස බලං ඉන්න.. ඒ හීන වල පාටින් මගේ කලු සුදු ආත්මෙට පාට පොවා ගන්න...

ඇත්තමයි ඔයා මහ දියවරක්.. කාස්ටකේට අහුවෙලා කණාටු වෙච්ච මගේ ගිනියම් ජීවිතේට පණ පොවන මහ දියවරක්...

ගගක් සේ ඔබ ගලා ඒ නම්  
මුව දොරක් වී ඔබව හමු වන්නම් 
මලක් වී ඔබ පෙති සලයි නම් 
පවන් රැළි වී ඔබව සිප ගන්නම්

ජීවිතේ කියන්නෙ අකුරු නැති වෙච්ච ප්‍රහේලිකාවක්.. හරහට පහළට ඉගි තිබුණට පුරවගන්න බැරිවුණා..

ඔයා තමයි ඒ අතරමං වුණු කොටු වලට අකුරු පුරෝල මේ ලස්සන කවිය ලියල දුන්නෙ...

දැං මං ඒ කවිය විදිනව ඔයා ගලන තාලෙට එළි වැට තියාගන..

ඒක සෙත් කවියක්... ඔයාවත් මමවත් දැනගෙන හිටියෙ නැතිවිදියට අන්තිමේදි ඒක සෙත් කවියක් වුණා.. මගේ විතරක් නෙමේ ඔයාගෙ ජීවිතේටත් ආවඩන සෙත් කවිය.. ඔයා ලියපු... මම කියවපු...

එන්න අපි හිනාවෙමු... ඔයයි මායි අපි දෙන්නම.. කදුළු වලට ඉඩක් නැත්තෙම නෑ.. හැබැයි සතුටු කදුලු වලට විතරමයි...

ආදරේ එහෙමයි... ජීවිතේ එහෙමයි...

පලා පැහැයෙන් දිදුල කදුවැටියේ 
අතුල පිණි මතු වේ 
සදක් සේ මා ඔබට දැල්වෙන්නම් 
ඔබේ කදුලැලි පෙමින් පිසලන්නම්

මං නොදන්නෙ නැහැ... හුගක් තුවාල තියනව.. මට නොතේරෙන්නෙ නැහැ.. ඒව Chronic... nonhealing... recurring

ඒ වුණාට Miracles happen... ඒකනේ මේ ගහයි තරුවයි වැස්ස අස්සෙන් මුණ ගැහුණෙ... හා නැද්ද....

මං දන්නව මට බෑ සමහර හිස් තැන් පුරවන්න ... ඒ විදියටම බැරි වෙයි... හැබැයි මං ඉන්නම්.. ඇඩෙද්දි කදුළු පිහින්න.. ඒවට පාට පොවල කම්මුල් වල හිනා අදින්න... ඔට්ටුයිද එහනම්...

දෑස රවටන මිරිගු දිය තලයේ 
වැටෙන උණු කදුලේ 
අරුත වී මා ඔබේ ළග ඉන්නම්  
මිරිගු දිය මැඩ කෙම් බිමක් වෙන්නම්

- පොඩී -
2016 අප්‍රේල් 14
කියවන්න...

Tuesday, March 22, 2016

උඹ දුන්නු කමටහන් එපා මට .....



උඹ මට කිව්වහම
තදින් ඇස් වහගන්න...

පියා ගත්තා මං හරි තදට 
මගෙ ඇස් දෙකම...

භාවනා කමටහන්
දරාගෙන
පුරෝගෙන
මගේ මුලු හදවතම...

උඹ කියපු 
වචනෙකින් වචනෙකට
මං හිතුව ගැඹුරටම
ගැඹුරටම ...

අකැප පව් කෙලෙස් ගැන
උඹ කියපු හැම දේම
එකතු කරලා
අගුලු දාලා 
අවුලුවා අළු කළා එවෙලේම...

අන්තිමට
උඹ කීවාම
ඇස් අරින්නට
තදට වහ ගනිපු ඇස් 
ඇරියා මම...

දුටුවෙ උඹ
හිනා වෙන හැටි
අමුතු විදියට

....මට නෙමෙයි වෙන්න ඇති....
හිතුව මම..

'පෙනේද පිං පාට'
කීවාම,

'අනේ ඇත්තද?'
ඇහුවෙ මං 
ඇත්තටම...

...ඇත්ත වෙන්නැති... 
හිතුව මම...

තේරෙන්න කාලයක් ගියා මට...

ඇස් පියා ගන 
උඹ කියපු වචන ගැන

භාවනා කරපු මම
දිහා බල බල
හිනා වුණු වග...

පිං පාට කියාගෙන
උඹ හිතුවෙ
'අනේ ගොං කම' කියා වග...

වහ කියල මං අළු කරපු 
හැමදේම
තාම උඹ මට හොරා කරන වග...

හොදයි කියලා මං වැදපු 
උඹෙ කකුල් 
මං තරම්වත් 
පවින් තොර නැති අරුම..

තවත්  දැන් ආයෙ නම්
ඇස් වහන්නැහැ ඉතිං 

ඇස් ඇරන් ඉදං,
ඇස් වහපු උන්ට හිනාවෙන
උඹ වගේ 
නරුම ඇස් 
උගුල්ලන්නම හිතං....

- පොඩී -
2016 මාර්තු 22
කියවන්න...

Friday, March 18, 2016

අකුරු පෙගුණා ...




අතරමග
අතරමං වුණහම
කතර මෙච්චර
රළුද හිතුණා...

හිතට බර
බොද වෙච්ච හෙට ගැන
හීන බලලා 
මොටද හිතුණා...

කුසට නැති 
මහා හුගක් මසවුළු
තඹ සතේකට 
උඹට දුන්නා...

ණයට දුන්
කොපි පොතේ පිටුවම
ලුණු එක්ක 
කදුලකින් පෙගුණා...

-පොඩී-
2016 මාර්තු 18
කියවන්න...

ලොකු වුණාම කවුද වෙන්නේ ????




පොඩි කාලේ මං ගැන රචනයක් ලියන්න දුන්නාම හරි පුරුද්දට ලියාගෙන යන හෑලි ටික ඔක්කොම ඉවර වුනාට පස්සේ ඔක්කොගෙන්ම වෙන් කරලා අන්තිමට ලියන වැදගත්ම දේ මතකද ඔයාට ?

" මගේ අනාගත බලාපොරොත්තුව ......... කෙනෙක් වීමයි "

මං හිතන්නේ මට වගේම ඔයාටත් ඔය හිස්තැන පුරවන්න දාපු වචනේ කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඇති නේද? 

මුකුත් ඕන නැහැ අනිත් හැම දේම අපුරුවට ගලාගෙන එන වේගෙන් ලිව්වත් ඔය හිස්තැන පුරවන්න කලින් පුංචි කමට මහා හුගක් වෙලා කල්පනා කරපු අතීතයක් පොඩීට තියනවා.... :) 

ඇත්තටම ඒ බලාපොරොත්තුව වෙනස් වෙන්නේ අපේ හිතුවිලි වල ගැඹුරත් එක්කනේ. පොඩිම දවස් වල ලෝකේ ඉන්න ලොකුම වීරයා අම්ම නැත්නම් තාත්තා. ඉතින් අපිටත් ඕනි වෙන්නේ එහෙම වෙන්න. අම්මගේ රස්සාව කරන්න. අම්ම කරන දේවල් කරන්න. තාත්ත වගේ වෙන්න....

ඉස්කෝලේ යන්න ගත්තම පොදු බලාපොරොත්තුව වෙනවා ටීචර්.. සමහරුන්ට බස් එකේ ඩ්‍රයිවර් අංකල්. කොන්දොස්තර අංකල්. බෙහෙත් ගෙන්න යන දොස්තර අංකල්. කඩේ මුදලාලි අංකල්....

අපි අපිට පේන තැන් වල, අපේ දර්ශන පරාසය ඇතුලේ අපේ හීනෙ අදිනවා. පාට කරනවා. ලොකු වෙනකම් පාටින් පාටට පාට කරනවා...

හැබැයි බොහොමයක් දෙනා අන්තිමට ජිවත් වෙන්නේ වෙනමම අලුත් හීනෙක. වැල යන අතට මැස්ස ගහගෙන ලැබෙන දේකින් ජිවිතේ ගැට ගහගන්නවා.. ඕක තමා පොදු ඇත්ත.

දවසක ඇත්ත වුනත් නැතත් පොඩි කාලේ හීන හරි වටිනවා. ඒවා මතක තියාගන්න එකත් හරි වටිනවා. ඇයි දන්නවද? රස්සාව මොකක් වුනත් ඒ කාලේ ඔය අස වෙලා තිබුණු ජිවිතේ මැරෙන්න කලින් ලාවට හරි තමන්ගේ හීනෙ ඇතුලේ පාට කරගන්න පුලුවන්නම් අපි දන්නෙම නැතුව අපි අමුතු විදියක තෘප්තියක් ලබනවා. ඒක මේ පොඩි අමතර කතාවක්...

අනිත් අතට කාලෙන් කාලෙට හීන අලුත් වෙද්දී පරණ හීන වලට පයින් ගහන්න යන්නේ නැතුව එවයින්ම අලුත් හීන උපද්දවගන්න පුලුවන්නම් ජිවිතේ ලේසියි. ඔයා ටිචර් කෙනෙක් වෙන්න ආස වුනේ උගන්නන්න නම් නිකමට වගේ පොඩි එකෙක්ට අකුරක් දෙකක් කියල දීල බලන්න කොච්චර සතුටක් දැනෙනවද කියල. ( හැබැයි ගොඩ දෙනෙක් කැමති සාරිය අදින්න නිසා ඒක ඉබේම ඇත්ත වෙනවනේ )

මට කියන්න ඕනි වුණු වැදගත්ම කාරණේ තමා ඔයා දැන් ඉන්නේ විස්ස පැනල නම් ඔයා දිහා බල පොඩි උන් ඕන තරම් හීන හදා ගනීවි. උන්ට හොද හීනයක් දෙන්න පුළුවන් තරම් වටිනා කෙනෙක් වෙන්න චුටියට සිහි තියාගන්නත් වෙයි.

පොඩී හැමදාම කියන කතාවක් තියනවා...

කෙල්ලෙක් පොඩි කාලේ ඉදන් මතක තියාගන්න ඕන දවසක එකී අම්මෙක් වෙනවා කියල. තමන්ගේ අම්මට ආඩම්බරෙන් 'අම්මේ' කියන්න පුළුවන් වෙන්න තරම් හොදට ඔයාගේ අම්ම හිටිය නම් ඔයත් දැන ගන්නෝනි ඔයාගේ ළමයින්ට ආඩම්බර වෙන්න පුළුවන් අම්මෙක් වෙන්න. කොල්ලෙක් නම් ඔයාගේ ළමයිට වීරයෙක් හීනයක් වෙන තරම් වටින තාත්තෙක් වෙන්න. 

මං හිතන්නේ යන්තමට හරි අනාගතයක් ගැන හිතෙන්න ගත්තම කාගේ කාගේත් හීනෙ හැදෙන්න ඕන මේ අඩිතාලම උඩ. එහෙම උනොත් මේ ලෝකේ හරි ලස්සන වෙයි. දරුවෝ පරිස්සම් වෙයි. ජීවිත දිලිසෙයි. 

දැන් බොහොම දෙනාට අමතක වෙන දේත් මේකම තමා. හැබැයි මතක තියාගන්න දවසක ඔයාගේ ලෙයින් හැදෙන දරුවෝ ඔයාට සාප කලොත් ඔයාට මැරෙන දවසක වත් සැනසීමක් නෑ. 

ජීවිත විදින්න ඕන තමයි. සතුටින් ඉන්න ඕන ආතල් ගන්න ඕන කාලේ ඒවා කරන්න ඕන තමයි. එත් මේක ජීවිතේනේ. එකයිනෙ නේද ? ආය ආපහු හැරුනම දුක හිතෙන දේවල් නොකර ඕන දෙයක් කියල තමා ඔයාට මේ කියන්නේ...

එහෙනම් හීනයක් වෙන්න.. ලස්සන පාට පාට වටින හීනයක් වෙන්න..


-පොඩී-
2016 මාර්තු 18






කියවන්න...

Saturday, March 12, 2016

රැඩිකල් දුම !




තේරුමක් නැති උන්
නොතේරුම් කමට..

තේරෙන ඇස් වලට
නොපෙනේවි හිතාගන කරන..

ඒත් තේරෙන ඔළු වලට
උන්ගේ නොතේරුම් කම 
දුටු මතින් තෝරා දෙන..

නොතේරුම් වැඩවල
තේරුමක් නැති තේරුම

රැඩිකල් දුම !

-පොඩී -
2015 පෙබරවාරි 13
කියවන්න...

ඇවිද ආ දුර ....





හිතක් නිකමට 
ඇවිගෙන ගොස්
ආපු දුර පාරේ දිගේ...

අහුලගත්තා
සුවද තැවරුණු
සොදුරු මතකය
මම අපේ...

වචන දෙක තුන
හිතට ආවම

ලියන්නට පන්හිදක්
ගත්තට

ලියවුණේ නැහැ
කවිය ඒ...

ලියවුණේ නැති
කවිය ඒ...

- පොඩී  -
2016 මාර්තු 12
කියවන්න...

Saturday, January 23, 2016

තරුවකට පිරු සෙනේ...


මුලු ලෝකෙම
හද එළියට
පෙම් කරනව
එක පොදියට...

මගෙ විතරක් 
වුණු තරුවට
පෙමින් බැදුණෙ
මං එතකොට...

හද නෑවිත්
කලුවර වෙන
ගණ අදුරේ
අමාවකට...

මට විතරක් 
පුරුදු සෙනේ
එළියයි මගෙ
හිත් අහසට...

අමාවකට 
අඩා වැටෙන
කෝටි ගණන්
ඇස් තිබුණට...

කවදාවත් 
කදුලු නොදෙන
නුඹෙ සෙනෙහස
දැනෙනව මට...

හිනාවෙන්න 
හැම දවසම
අමාවකෙත්
එක විදියට...

නුඹේ හිතේ 
ඔය උතුරන
සෙනේ ගගට
ලෝබයි මම...

- පොඩී -
2016 ජනවාරි 24
කියවන්න...

Friday, January 15, 2016

අපේ කුහක 'කම'



අපි ආපු පාරට
හෙට එන නුඹට එන්නට
ඉඩ හදා දෙන්නට
කෑ ගහන මේ අමුතු 'කම'

හිග අතමිට නොදැනෙන්න
කුසට බත් කට තම්බගෙන
හෙට වෙද පුතෙක් හීනෙනුත් දකින
අම්මලා ගැන දැනෙන 'කම'

නියං පොළවට නොහැගෙන
ඉරි තලපු පැලුමකින් මතු වෙන
පියලි බෙදුණම හීන එළිවෙන
තාත්තෙකුගේ අහිංසක 'කම'

වේල යන්තම් පුරවන
හේතු මාමල ඇදට වැටුණම
අඩුම ගාණක බෙහෙත දෙන්නට
උන්ගෙ පපුවේ ගැහෙන තැන ගැන
හොදට හදුනන උඹේ හීනෙට
නලාවක් දෙන්නට...

ඉතිං ඒකයි මේ අමුතු 'කම'
සල්ලි විසි වෙන උන්ගෙ ඇස් ළග
අපේ ලේ රත් වෙන කුහක 'කම'

- පොඩී -
2016 ජනවාරි 15


කියවන්න...

Wednesday, January 13, 2016

හෙවනැලි...




කිව්ව මං කොච්චරක් නම්
අතෑරල ඇවිදින්න මං
හරි බරයි නුඹෙ හිතට දැන්
එදා ළග උන් නුඹේ මං

තේරුමක් නැහැ නුඹට නම්
ජීවිතේ ගැඹුරක තරම්
ඒ නිසයි තව කීවෙ මං
මතක අමතක කළා මං

එළිය අඩු නැති දහවලේ
නුඹට ළං වී උන්නු මං
ජීවිතේ ළග ඉන්න නම්
හිතුවෙ නැහැ නොවැ රත්තරං

අදුරු රෑ ඒ නිසාමයි
ළග නොයිද මැකුණේත් මං
නුඹේ වෙන්නට හිතුව නම්
හෙවනැල්ල වේවීද මං

නුඹේ පපුවට ළං වෙලා 
නුඹට පණ දෙන ජීවිතේ
මගේ අලු වුණු මතකයෙන්
කිලිටි වනු ඇති නියාවෙන්

අතැර මා මේ මග කොහෙන්
ඇවිද යනු මැන ජීවිතෙන්
හුස්ම පුද දුන් පණ අරන්
හිනාවෙනු මිදිලා මගෙන්

- පොඩී -
2016 ජනවාරි 14

කියවන්න...

Monday, January 11, 2016

ඉතිං දැන් ඉගිලියන්....




තිබුණු පලියට
විහග අත්තටු
විසල් අහසට
ළාමකයි උඹ...

වළාකුළු වල
සුවද ඉම්බට
අකුණු රළු බව
දන්නෙ නැහැ උඹ....

සිනිදු පින්නට
පෙමින් බැදුණට
මුරුගසන් වැහි
ඇදන් වැටිලා
උඹේ තටු තෙත බරිත කරලා,

පුම්බෙගෙන යන
පපු කැනැත්තෙන්
හුස්ම උදුරන්
වීසි කළහම,
රිදෙන තැන් ගැන
දන්නෙ නැහැ උඹ...
කවමදාවත් කියල නැහැ මම...

උඹව අල්ලන්නට නොදී මම
හැමුවෙ ඒකයි අනිත් අතකට
උඹේ ගමනට
හරස් වූයේ
බේරගන්නයි මරු කපොල්ලෙන්...

අහිංසක උඹ
වැරදි හිතුවට
අනිත් අතකට
හමපු මං ගැන...
අහිත නෑ මම
සත්තකයි අද
නතර වෙන්නම්
මෙතන මෙහෙමම...

ඉතිං එතකොට...

ඉගිලියන් උඹ
අහස විනිවිද
පොළොව නොපෙනෙන
ඈත දුරකට
හතිය දැනුණම
පපුව රිදුණම
ආයෙ එන්නට
පාර දැනගෙන
මගේ ගාවට...

ආයෙමත් තුරුලට අරන් මම
කියා දෙන්නම්
අහස ගැන එතකොට....


- පොඩී -
2016 ජනවාරි 12 


කියවන්න...

Saturday, January 9, 2016

නැති වෙයි බලාගෙන !!





උදේ ඇහැරෙද්දි හැමදාම පායන ඉර වැරදිලාවත් පායන්නේ නැතුව තිබුණොත්... කවදාකම හරි ඔයාට හිතිලා තිබුනද එහෙම දෙයක්.?.


හුගක් දුරට ඔයා එහෙම හිතන්නේ නැහැ. 

මොකද ඉර හැමදාම පායනවනේ. ඔයාට මට ගාණක් නැති වෙන තරමටම එක හරි සාමාන්‍ය දෙයක් වෙලා. 

වෙන ඕනම දෙයක් සාමාන්‍යකරණය වුණා කියලා කියන්න ගන්න නිත්‍ය උපමාව තරමටම උදේට ඉර පායන එක අපට විශ්වාසයි නේ...

නිකමට වගේ හිතන්නකෝ දවසක ඉර නැති වෙනවා. 

ඔය මොකක් හරි හොයාගෙන් නැති අමුතුම අමුතු නමක් නැති එකක් වෙලා පෘථිවිය ඉර වටේට යන පාරෙන් ඈතට ඈතට ගැලවිලා විසි වෙනවා. 

වෙන්න බැරිම නැහැනේ නේද?

එදාට ඔයයි මමයි අපි දෙන්නටම වෙන්නේ ඉර හොයන්න ! හැමදාම පායපු ඉරේ ගුණ කිය කියා යන්න... හා නැද්ද?

පොඩී ඉදල ඉදල කාලෙකින් විකාරයක් ලියනවා වගේ නම්.. ඔව් .... එත් ඒ විකාරේ වෙනකම් අපිට තේරෙන්නේ නෑ ඉර පායන එක තමයි අපිව ජීවත් කලේ කියලා. 

ඔයාට ඉර ඉද්දි තේරුනේ නැති වටිනාකම දන්නෙන්නේ ඉර නැති වුනාම...

මේ ඉරක් ගැන කතාවක් අදාල ගත්තට ඕක හැම දේටම එහෙම තමා. 

කොටින් කීවොත් ඔයාට ඔයාගේ වටිනාකම දැනෙන්නෙත් ඔයාට ඔයාව නැති වුනු දවසට තමා... !!

ඉර නැති වෙන දවස මුළු ලෝකෙටම අදුරු දවසක්නේ... ඔයාට ඔයා නැති වෙන දවස ඊට වඩා හුගාක් භයානකයි.

එදාට එක දැනෙන්නේ ඔයාට. තේරෙන්නේ ඔයාට. දුක වේදනාව තනියම විදගන්න වෙන්නේ නැති වුනු ඔයාටමයි...

අන්න එකයි අපි හැමදේටම කලින් අපිව බලා ගන්න ඕන. 

අපි අපිව නැති කරගන්නේ නැතුව ඉන්න තමයි මේ ලෝකේ වැඩිපුරම මහන්සි වෙන්න ඕනි කියලයි පොඩී හිතන්නේ.

කොච්චර පරිස්සමට බලා කියා ගත්තත් මේ ජිවිත කාලේ එක වතාවකට වඩා හැමෝටම තමුන්ව නැති වෙලා තියනවා.

 'කෝ මං' කියලා හොයන්න වෙලා තියනවා.. 'මේ මං නෙමේනේ' කියලා හිතිලා තියනවා. 

අන්න ඒ වෙලාවට නැති වුනු ඔයා හොයල දෙන්න ඔයාගේ හිතට වගේම පුළුවන්කමක් තියන කෙනෙක් ඔයාගේ ජීවිතේට ලගින් ඉන්නවනම් ඔයා හැමදාම ඉර පායන ලෝකයක් තරම්ම වාසනාවන්තයි.

අලුත් අවුරුද්දේ දවස් දහයකුත් ඉවර වෙලා තියෙද්දී ඔයාට ඔයාව පරිස්සම් කරගන්න ලැබෙන්න කියලා පොඩී ප්‍රාර්ථනා කරනවා.  



-පොඩී-
2016 ජනවාරි 10



කියවන්න...

සිත්තර හීන



රැයක් නිදි වරා

දෙනෙත් රිදවලා

නොතිත් සිහිනෙකට

පණක් එක් වෙලා...



මුකුත් නොලියැවුණු

සිතක් හමුවෙලා

අලුත් සිතුවමක්

හිමින් මතු කළා...


මෙතෙක් දිවි තුරා

හිතින් බර දරා

හිටපු සෙනෙහසක

අරුත් රූ වෙලා...


නොනිම් හෙට සොයා

අතින් අත දරා

දුරක් ඇවිදින්න

යමුද සිත්තරා.....





-පොඩී-
2016 ජනවාරි 10
කියවන්න...

කාස්ටකේ






අහසට ඕනෙ වුණාට

වහින්න
පොළවට ඕනෙ නැහැ 
තෙමෙන්න

එතකොට.... 

හුළගක් ඇවිත්
වැහි වළාකුළු
අරන් යනව

ඈතට ඈතට

පොළව නොපෙනෙනම හරියකට

එතකොට.. 

කට්ට අව්ව

පොළව ඉරිතලල

පැළි වළං පැළිල

පොළවට ඕනෙ වෙනව
තෙමෙන්න

එදාට... 

තෙත නැති වියළි හුළගට
බෑ වළාකුළු ගේන්න

අහසට
වහින්න,

පොළවට 
තෙමෙන්න,

ඒකයි කාස්ටකේ
එච්චරම රළු...


-පොඩී-
2016 ජනවාරි 11
කියවන්න...

නැති ඇත්ත





ඇත්තේද නැත

නැත්තේද නැත

තිතක් නැති තැන

කොමාවක් ඇත

නොපෙනුණ 
නොහැගුණ
දෙය නම්

කොමාවටද
තිතක් ඇත... ,


-පොඩී-
2016 ජනවාරි 10
කියවන්න...
Designed By Blogger Themes