සටහන්

Tuesday, November 25, 2014

බඩගිනි කඳුළු.....


උන්ට ගඳ
උන්ගේ කුණු
අපිට සුවඳයි පුතේ
බත් සලක්
තිබුනොතින්
දවසටම 
ඇති පුතේ
උන්ගේ කටු
කකුල් වල
ඇමිනුනත් 
මයෙ පුතේ
ලොවන්නට එපා උඹ
ඔව්ව වහ වෙයි පුතේ
වදපු බඩ 
හොයාගෙන
යන්න බැරි මගේ අතේ
හැපුනාම 
මං කොහොම
නොදැක යන්නද "පුතේ"

-පොඩී-
2014 නොවැම්බර් 25
කියවන්න...

මගේ මළගම...


පුරෝගෙන පෙනහළු
හමා එන සුවඳ පොදි ගහන්
ඔබේ යයි හිතාගෙන
උරාගෙන උරාගෙන ගියා මං
ඇස් දෙකත් පියාගෙන
කන් දෙකත් වසාගෙන
බය හිතුණා මට 
එක පාරටම 
පපු මැද්දට දැනුණු 
ලේ රස්නෙට
අනේ ඇනගෙන මං
මගේ පපුවට 
පිහියකින්

-පොඩී-
2014 නොවැම්බර් 25


කියවන්න...

වැදගත් හෙළුව....



නුඹට පෙනෙන
ඇය නොදකින

ඇස් වහගෙන
සේල් දමන

කළු කොලයට
මිල වැඩිවන

රඟති නටති
තරු දිලිහෙන

-පොඩී-
2014 නොවැම්බර් 25

කියවන්න...

මියැදුන තත්සර...



තත් සර ගී ගයන
අත් පොළසන් හඬන
සත් දිනකට කලින්
මං ළඟ නුඹ උන්න

මොහොතක මතකයක්
හිත යට ඇවිලිලා
ඇස් කන් පුපුරවන්
තත්සර සුන් කළා

නුඹ නැහැ ළඟ තවත්
දැනගෙන ඇඟිලි තුඩු
තත්සර තුල ගිලී
ගිනි ගෙන මියැදුනා

-පොඩී-
2014 නොවැම්බර් 25



කියවන්න...

පාටයි මමයි......



පාට දිලිහෙන
ලෝකයට
රැවටී 
පාට පාටින්
පාට කරලා
ආපු හීනෙක 
නිදියලා....

මාව දීලා
ඈත ගිය
අම්මේ

පාට පාටයි මම
දන්නේ නැහැ තව 
කිසිම පාටක නම

-පොඩී-
2014 නොවැම්බර් 25

කියවන්න...

Monday, October 13, 2014

විඳිමි නිවන.......



නිසසල නොවන සිතුවිලි මාලිගා මැද
තව දුර දුවන්නට ඇත මේ සසර මග
හිත සතපවා සදහම් මල් අසුන උඩ
මොහොතක් විඳින්නට හැක ඒ නිවන් සුව

-පොඩී-
2014 ඔක්තෝබර් 13


කියවන්න...

hand out එකක තිබී අහුලා ගන්නා ලද්දකි



අඳුරට හුරු වුණ
අකුරට බැඳී නෙත
විඩා නිවන්නට පෑයූ සඳවත
අමාවකට නාවත් හිත් අහසට
දනිමි දුරින් හිඳ එලිය සදන වග

-පොඩී-
2014 ඔක්තෝබර් 13

කියවන්න...

නාටකය.........



නුඹ
පවන් රැල්ලක එතී ආකහේ හිතු සේ
අයාලේ පාව යන වලා රොදක්
මම
නුඹ ඇවිත් ආයෙමත්
යන තුරා නිසලවම බලා හිඳිනා
ගුප්ත නිල අහසක්
ඇය
නුඹ වටා තනි නොතනියට හිඳ
ගී ගයා නිදහසේ නුඹ එක්ක හිනැහෙන
කිරිල්ලක්
ඔහු
දඟ පාන වලා රැල් දැක දැකත්
නුදුටුවා මෙන් පායා විත්
බැස ගියත් අයෙමත් නැග එන
ඉරක් හඳක්

අපි අපිටවත් අයිති නැති
අපිම වත් දන්නෙ නැති
නාටකයක් කට පාඩමින් රඟපාන
නළුවෝ ටිකක්....

-පොඩී-
2014 ඔක්තෝබර් 13


කියවන්න...

Friday, October 3, 2014

පසුව ලිවීම.......



ගිහින් එනවද ආයෙමත් නුඹ
නොකීවට වෙනදා වාගේ
ඇවිත් යනවද හිදින්නම් මම
මෙතන හැමදාමත් වගේ
හෙටත් පායයි ගිලුණු ඉර අර
පෙරදිගින් වෙනදා වගේ
ඉතින් එනවද හෙටත් මෙතනට
අරන් ළග ඇති හිත මගේ

-පොඩී-
2014 ඔක්තෝබර් 4

කියවන්න...

නියං හුළං........


දෑල දිග සුපිපුණු
දෑ සමන් මල් පෙති 
අපි ගියපු මග දිග
වැතිරිලා දුටුවද නුඹ
සොදුරු මල් ගොමු පිසගෙන
හමා ගෙන ගිය මඳ නල 
ඉතුරු වියලුණු කොළ ගලවගෙන
ඇවිත් රිදවයි 
මගේ කෙහෙ රැලි
අවුල් කරමින් 
නුඹ නැතිව
පන අදින 
මගේ හදවත

-පොඩී-
2014 ඔක්තෝබර් 4
කියවන්න...

Monday, August 18, 2014

කවි සහ නුඹ



නුඹ නිසා හිත පුරා
කවි ගොඩක් ලියවිලා

නෙතු නිදන කලුවරේ
හිත ළඟම නැවතිලා

මගේ සවනත ඉඹින
නුඹේ සත්සර සුසුම්

එක්ක එක්කහු වෙලා
සොඳුරු ගැයුමක් කළා

-පොඩී-
2014 අගෝස්තු 18
කියවන්න...

Wednesday, July 9, 2014

හිත සිඹින මුදු සුවඳ....


සීරුවට නුඹ ඇවිත් 
මගේ හිත සිත සිඹින විට
හීනියට හිනා මල්
ඉහිරුණා නුවන් අග

නුඹේ නෙතු කෙවෙනි යට
හැංගිලා මගේ හිත
නුඹෙ සුවඳ විඳිනවා
හැමදාම වගේ අද

-පොඩී-
2014 ජූලි 9
කියවන්න...

Sunday, June 22, 2014

කවිය නුඹ ...


දිවි රඟ මඬල
කල එළි බසින...

දෙහදක තුනී
තත් පිරිමදින...

නොගැයුනු සරක
තනුවක් මවන...

සුගැයෙන කවිය
නුඹ හද උයන...

-පොඩී-
2014 ජුනි 22


කියවන්න...

Wednesday, June 18, 2014

එනතුරු නුඹ ........

අද බැස ගිය හිරු 
ආයෙම නොනඟින
සඳ පායා එන
දහවල ඇති දින

කවුරුන් කීවත් 
නොවෙතියි කිසිදින
බලාන උන්නෙමි 
නුඹ යළි එන දින

-පොඩී-
2014 ජුනි 18

කියවන්න...

Friday, May 16, 2014

නුඹ සොයා ඉගිලෙන්න......

ලෙංගතු හිතළඟ 
ඉස්සර  වාගෙම 
පිං පුරවන  
බෝසත් කම පිරිලා 

මං ළඟ නැතුවට
ඇස් දෙක වැහුවම 
හමනව නුඹෙ
සුසුමන් නෙතු විියළා

පෙම්බර සත්තයි 
හිතෙනව එන්නට
නුඹව හොයාගෙන
මොහොතින් පියඹා

අත්තටු දෙනවද 
පිං කළ දෙවිඳුනි 
ඔහු ළඟ නැවතුනු
මගෙ හිත හොයලා

-පොඩී-
2014 මැයි 17


කියවන්න...

Tuesday, March 25, 2014

මළගම



අහස දරන මහ සෑයට
පුදපු පහන් වැටි ගානට
වඩින කෝටියක් දෙවිවරු 
අරක් ගනිපු මහ මලූවට

පාට පිරුණු හැන්දෑවට
හැඩ වී කණ කොක් පාටට
ඇව්ත් කියපු සෙත් කවි වැල්
තවම ඇහෙනවා සවනට

අකලට වියලූණු අත්තක
එල්ලීගෙන යාන්තමට
කෙඳිරි ගාපු බෝ කොළයක්
වැටී පොඩි වුණා දෙපයට

තුන් හිතකින් බෝ මුලකට  
වරදක් නැති වුණත් නුඹට
නුඹේ මතක බණ අහන්න
ඉන්නට පින් නැති වුණ හැටි


- පොඩීි -
 2014 මාර්තු 25



කියවන්න...

Saturday, March 15, 2014

පුහු දුන් ජීවිත



තනුවක් නැතිව 
තනිවම ගැයෙන 
නිසඳැස් කවිය
ජීවිතේ...
එළිවැට බඳින
බැම්මට නතුව
හිර වී හඬන  
ජීවිතේ...
බැමි බිඳ දමා
නිවනට ඇදෙන
මඟ දැන දැනත් 
ජීවිතේ...
ඒ මඟ මගැර
බැමි බැඳි මඟම
ලොබ වී දූවයි
ජීවිතේ...

-පොඩී-
2014 මාර්තු 15




කියවන්න...

Thursday, March 13, 2014

අනේ දොස්තර නොදුටු මොක්පුර



තවත් බොන්නට 
එපා කිව්වම
අනේ දොස්තර 
නොදුටු මොක්පුර

නැගිට ගන්නට 
බැරුව වැටුනම
අනේ දොස්තර 
මැරේවිද මම...


- පොඩී -
2014 මාර්තු 13


කියවන්න...

Tuesday, March 4, 2014

ගිම්හානය.....



මල් කිනිති ඉඟිකරන
මුතු පින්න නෙත් දොවන
ගුම් නදින් සර වැයෙන
සුන්දරම වසන්තය

නෑවිදින් ගියානම්
නුඹ මගේ ලෝකයට
දැනේවිද කිසිදාක
ගිම්හානයේ කඳුල 



- පොඩී -
2014 මාර්තු 04



කියවන්න...

Friday, February 28, 2014

නූපන් පොහොට්ටුව


තවම නූපන් මල් පොහොට්ටුව
තුරු රිකිල්ලක මුදුන් දලු මැද
හිරු කිරණ නැග නැගෙනහිර නුබ
මල් වරන තුරු හීන මැව්වා

ඈත අඳුරෙන් උපන් දෙබරෙක්
මෑත නොපිපුණ මලට ලොබ බැඳ
ලොවට සැඟවී අඳුරු වර ගෙන
මල් කිනිත්තේ ලැගුම් ගත්තා

ඉරට කලියෙන් පීදියන් නුඹ
බසින් රවටා මල් සිඟිත්තිය
නිදන මල් පෙති එකින් එක ගෙන
මුලින් උදුරා තලා දැමුවා

බලා නිසි කල පිපෙන විට ඉර
තැලී පොඩි වී අහිංසක මල
කඳුලු හෙලමින් තනිව ගස මුල
මියෙන්නට පණ අදිනු දුටුවා


-පොඩී-
2014 පෙබරවාරි 28



කියවන්න...

Thursday, February 27, 2014

කුළුදුල් පෙම




අසම්මතයට 
සිතින් පෙම් බැඳ
දුකින් නිමවූ 
කුළුදුලේ පෙම
හිනා පූදින 
හීනයක් දැක
අවදිවූයේ 
කදුළු නුවරක

ආමගක් නැත 
යන තැනක් නැත
නතර වන්නට 
තොටුපලක් නැත
මහමෙරක් යැයි 
කියූ සෙනෙහස
කප්පරක් දුක 
උරුම කොට ඇත



- පොඩී -
2014 පෙබරවාරී 27



කියවන්න...

Friday, February 21, 2014

නුඹ නුදුටු මල්




පිරුනු තුරු ගොමු අතරින් 
තුරු හිස් මුදුන් ඉහලින්
හැමදාම නුඹ සොයා ගිය ඒ
හිනා මල් පොකුරු 
පිපී තිබුනා මගේ හිතෙත්
නුදුටුවාට නුඹ 
කවදාවත්ම.......

- පොඩී -
2014/02/21



කියවන්න...

Tuesday, February 18, 2014

මියැදුණු පහණ



ගොම්මන් කළුවර ඇහැරෙන්නට පෙර
අඟුළු දමන්නට බැරි වුණු කවුළුව
ඔහේ දමා යන උතුරු හුළඟකට
එන්නට දීලා මගෙ හිත් ගෙදරට

පරෙස්සමට කාටත් රහසේ මම
දල්වාගෙන උන් මගේ පහන් සිළ
දෙනෙත වසන සැනෙකින් දුවගෙන විත්
මරා දැමුවේ කිමද සුළඟ නුඹ

මියැදුණු එළියට යළි පණ නැතුවට
දැල්වුණු උණුසුම තාම දැනෙයි මට
කවුළුව අභියස නොහඩා තව නුඹ
එන්න සුළඟ ගෙට මතක බණයි හෙට



- පොඩී -


කියවන්න...

පන්හිද



අන් සිතක වග
අන් අතක හිඳ
අනෙකෙකුට අවැසි සේ
පතිරුවක ඉද

අන් නෙතක අග
නොගැටෙනා ලෙස
ලියු මතින් කුරුටු ගෑ
දෙසිත් සිත නුඹ 
පන්හිද



- පොඩී -



කියවන්න...

Sunday, February 16, 2014

පිරිත් පැන් වැස්ස නුඹ




ඉර ඇවිත් හිස මතට
සියොළඟම දවන විට
පවස නිවනට තිබුණු
පැන් පිරුණු දිය කඩිති
වියළිලා 
පැලි වළං පුපුරාපු 
පාර දිග
ගලාගෙනවිත් සැණින්
තෙමා පෙති ආදරෙන්
මියැදෙන්නට නොදී
සියපතට පණ පොවන
හිත නිවන
නෙත පිහින
පිරිත් පැන් වැස්ස 
නුඹ...


- පොඩී -
2014 පෙබරවාරී 16



කියවන්න...

Tuesday, February 4, 2014

පෙම්පත



ඉඩෝර හුළඟට
ගහගෙන එනවද
එන අවුරුද්දෙත්
ඇවිත් යන්නවත්
සුසිනිදු 
පෙම්පත

- පොඩී -




කියවන්න...

අහිමි නුඹ


අන්සතු උයනක 
පිපී සැලෙන විට
දුටුවේ මං නුඹ 
කැකුළු මලක් ලෙස
මා සතු වන්නට 
වරම් නොමැතිනම්
අදිසි වෙයන් නුඹ 
මිලිනව උයනට...

- පොඩී -
2009



කියවන්න...

වෙනස


වෙනසකට වෙනස්ම අරුතක් දුන්
මා වෙනස්වූ මුත්
මට වෙනස් නොවූ නුඹ...
වෙනස යනු,
වෙනසම බව කියාදී
වෙනස් වන අරුමය
නොවෙනස් 
මට...

- පොඩී -
2012


කියවන්න...

හොරුගත් ඩිග්රිය




කෑගහන හදවතක
ලේ ගලන උණුසුමට
පුළුවනිද නුඹලාට
දෙන්න A/C මැෂින්

වැදූ මව ඇස් දෙකින්
හැදූ පිය සියොළඟින්
ගලන දහදිය කදුළු
වලට මිල කියාපන්

සිනිදු සේලය ඔතන්
විල්ලු පලසක නිදන්
ඩොලර් මිටි ඇති උන්ට
ඩිග්රි ඇත අත ළඟින්

නෙතු කෙවිනි නිදි වරන්
කුසින් අඩකට කමින්
සරසවිය උරුම කල
සහතිකය හොරු අරන්

- පොඩී -
2011


කියවන්න...

Monday, February 3, 2014

එදා මගේ සිහිනය




එදා මගේ වුණු සිහිනය
මෙදා අයිතිවී අදුරට
මුවා වෙලා සඳ පළුවට
කිමද තවම සරදම්

හිනා උනත් මම තනියම
අරන් ගිහිපු මගේ හිත ළඟ
පිපුණු කදුළු මල් අස්වනු
වල උරුමය නුඹ නම්

- පොඩී -
2012


කියවන්න...

Saturday, February 1, 2014

උණුහුම



දෑඟිළි පාඟිළි 
තුඩු කිළි පොළමින්
නෙතඟ කදුළු උණවා
හිත හඩවන
අදුරු නිශාවක 
තනිවම වැළපෙන
නුඹේ සුවඳ මට 
දැනුනා අම්මේ...

තුරුල් වෙලා නුඹ 
ඇකයේ සැතපුන
ගතට දැනුන ඒ 
සෙනෙහස් උණුසුම
තදට පියා නෙතු 
සිහියට ගන්නට
ඈත උනත් නුඹ 
පුළුවනි අම්මේ...

අකුරට ලොල් බැඳ
නුඹ සනහන්නට 
සැනසුන නුඹ මුව
සිනහ දකින්නට
හීනෙන් මා නළවා 
සැතපෙන නුඹ
සිහිකර නෙතු 
නොපියන්නෙමි 
අම්මේ...

- පොඩී -
- 2011 පෙබරවාරි 25 -


කියවන්න...

පණ දුන් පණ




බුදු සුවඳට ළඟ 
නුඹේ ගුණ සුවඳ
ළඟින් විදින්නට
පින් නැතුවට මට
බුදු වදනට ළඟ 
නුඹේ ඔවාමිණි
කනින් අසන්නට 
පින් නැතුවට මට
කිසිදා නොවැටුණු 
සවිබල සපිරුණු
නුඹේ දෙපා යුග 
වැ සැනහෙන්නට
නුඹට දුවක වී 
ලොව උපදින්නට
කාටත් නැතුවට 
පෙර පිං ඇත මට

පොඩී
- 2011 ඔක්තෝම්බර් 12 -


කියවන්න...
Designed By Blogger Themes